කතෝලික නිවෙස් ඇතුළු ආයතනවල ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය හෝ කතෝලික ධජය අඩකුඹු කරන ලෙස කතෝලික සභාව සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක පණිවිඩ සටහන් කිරීම සඳහා කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලයේ විශේෂ සමරු සටහන් තැබීමට කටයුතු සූදානම් කර ඇති බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝකය පළ කිරීමට කොළඹ අපෝස්තලික සභාව විවෘතව තැබෙන බව ද පියතුමෝ සඳහන් කළහ.
ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ඊයේ (23) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එනු ලැබීය. ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා (26) පැවැත්වීමට නියමිත බව වතිකානය නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය.
ශුද්ධෝත්තම පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට ලොව පුරා රාජ්‍ය නායකයන් රැසක් එක්වන බවද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්, ආර්ජන්ටිනා ජනපති හාවියර් මිලී, යුක්රේන ජනපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් එම අවමංගල්‍ය උත්සවයට එක්වනු ඇත.
මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයත් සමඟ දින නවයක නිල ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. ලොව පුරා බිලියන 1.4ක පමණ කතෝලිකයන්ගේ නායකයා වන ශුද්ධෝත්තම පියාණන්ගේ වියෝව සැළවීමත් සමඟ බොහෝ පිරිසක් වතිකානයට පැමිණෙමින් සිටිති.
ඊට අමතරව, ලොව පුරා කතෝලික ජනතාව මේ වන විට ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් වෙනුවෙන් යාච්ඤා මෙහෙයන්වලද නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.
නෙරංජලා වික්‍රමසිංහ