මෙවර පළාත් පාලන මැතිවරණයේ කොලොන්නාව නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් මඟින් හෙළි කරගෙන තිබේ.
ඒ අනුව මෙම ඝාතනය සිදුව ඇත්තේ පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු තිදෙනකු ඊයේ (23) වන විට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඩෑන් ප්‍රියසාද් මහතා වෙඩික්කරුවන්ගේ ගොදුරක් බවට පත් වන්නේ සිය බිරියගේ සහෝදරිය විසින් සංවිධාන කළ සාදයකට සහභාගි වීමට කොලොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයට ගොස් සිටියදීය. හය වැනි මහලේ නිවෙසක පැවති එම සාදයට සහභාගි වීමට ඩෑන් ප්‍රියසාද් ගොස් ඇත්තේ මීතොටමුල්ලේ සිට බව සඳහන්ය. ඒ සිය බිරිය හා දරුවන් දෙදනා සමඟිනි. මේ සාදය ඩෑන් ප්‍රියසාද් මහතා විසින් බිරියගේ සහෝදරියගෙන් ඉල්ලා සිටි සාදයක් බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඩෑන් ප්‍රියසාද් මහතාගේ බිරියගේ සහෝදරියගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඇගෙන් ඒ සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු විමසා ඇත්තේ ඇය පොලිස් භාරයේ තබාගෙන බව ද සඳහන්ය.
මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර සාදයට පැමිණි දෙදෙනකු ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකය එල්ල වී ඇත්තේ පිය – පුතු දෙපළක් වෙතය. 2022 වසරේ ජූනි 25 වැනිදා ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති එම පිය පුතු දෙපළ ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවට අනාවරණයි වී තිබේ. ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනමක් ද ඊයේ අධිකරණයෙන් ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සිය සහෝදරයා ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන්ට ත්‍රිරෝද රථයක් දුන් බව කියන පුද්ගලයකු සමඟ ද ඩෑන් ප්‍රියසාද් මහතා යම් ආරවුලක පැටලී සිට ඇති බවට තොරතුරු ද පොලීසියට ලැබී ඇත. එම පුද්ගලයා සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන සිදුකරනු ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඩෑන් ප්‍රියසාද් මහතා නිවාස සංකීර්ණයට පැමිණ සාදයේ සිටින බවට යම් පුද්ගලයකු විසින් වෙඩික්කරුට හෝ මෙම ඝාතනයේ සැලසුම්කරුට දුන් දුරකතන ඇමතුමකට අනුව බව පොලීසිය සැක කරයි. ඇතැම් විට එම සාදය පැවති ස්ථානයේ හෝ ඒ ආසන්න ස්ථානයක රැඳී සිටියකු ඊට සම්බන්ධව සිටින්නට ඇති බව සැකකරන පොලීසිය දුරකතන ජාල පරීක්ෂාවක් ඔස්සේ එම පුද්ගලයා හඳුනා ගැනීමට ද විමර්ශන පවත්වනු ලබයි.
පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ අපරාධකරුවන් රැසකට එරෙහිව පසුගිය කාලයේ ඩෑන් ප්‍රියසාද් මහතාගේ නායකත්වයෙන් කොළඹදී විරෝධතාවක් ද පවත්වනු ලැබීය. එම විරෝධතාවයේදී ඩෑන් ප්‍රියසාද් මහතා විසින් කංජිපානි ඉම්රාන් ඇතුළු විදේශගතව සිටිමින් අපරාධවල නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් කිහිප දෙනකුව විවේචනය ද කරනු ලැබීය. එම සිදුවීමෙන් අනතුරුව ඔහු ඩුබායි බලා ගොස් එහි කෙටි කාලයක් රැඳී සිටියේය. ඩුබායිහිදී අනතුරකට ලක්ව ජීවිතයට හානියක් වූ බවට ද එකල කියැවිණි.
ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයෙන් පසු කංජිපානි ඉම්රාන් විසින් නිකුත් කළ බව කියන හඬ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඒ තුළින් මෙම ඝාතනය කංජිපානි ඉම්රාන් විසින් කළ ඝාතනයක් දැයි සැකයක් ද මතුව තිබේ. ඒ ගැන ගැඹුරින් විමර්ශනය කරන බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයකින් පොලිස් කණ්ඩායම් 06ක් විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කළේය. වෙඩික්කරු සහ සහායකයා මෙම ගොඩනැඟිල්ලට ඇතුළු වී වෙඩි තැබීමෙන් පසු පලා යන ආකාරය නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ ඔවුන් මෙම ගොඩනැඟිල්ල ගැන හොඳින් අවබෝධයක් ඇති අය බවයි.
ඩෑන් ප්‍රියසාද් මහතා සිංහලේ සංවිධානය ද ඇතුළු විවිධ සංවිධාන රැසක් නියෝජනය කළ අයෙකි. එසේම ඔහු දේශපාලන පක්ෂ කිහිපයකටම සම්බන්ධව කටයුතු කළ අයෙකි. විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ද පත්ව ඇති ඔහු වඩාත් කතාබහකට ලක්වූයේ අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සහ දිගන ඇතිවූ නොසන්සුන් තත්ත්වයත් සමඟිනි. එම සිදුවීම් දෙකට ද ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.- ගයාන් කුමාර වීරසිංහ
පිය-පුතු දෙපළකට විදෙස් ගමන් තහනම්
සමාජ ක්‍රියාකාරී ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පිය පුතු දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (23) නියෝග කළේය.
බන්දුල පියල් සහ මාධව සුදර්ශන යන පිය පුතු දෙදෙනාට මෙලෙස විදෙස් ගමන් තහනම් කරන ලෙසට නියෝග කෙරුණු අතර, ඔවුන්ගේ දුරකතන වාර්තා කැඳවීමට ද නියෝග කෙරිණි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු දෙදෙනකු සම්බන්ධ බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී පෙනී යන බව වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරන ලදි.
කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයක සාදයකදී සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා වෙත ඒ බව පැවසීය.
රොබට් ගුණවර්ධනලාගේ චින්තිකා නමැත්තිය විසින් වැල්ලම්පිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි.
පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.
ඝාතනයට ලක් වූ මෙම තැනැත්තාගේ සහෝදරයා වන තිළිණ ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට පෙර කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බව පොලීසිය අධිකරණයට කරුණු දැක්විය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ පස්වරුවේ ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයාගේ දේහය රඳවා තිබෙන කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය සහ සිද්ධිය සිදුවූ ස්ථානය නිරීක්‍ෂණයට ලක් කරන ලදි.
පෙරේදා (22) රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබිණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලීසිය පැවසීය.
සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු මිය ගියේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
කල්පනි අබේසිංහ