Home » මහනුවරට වැසි ඇද නොවැටීමෙන් දළදාවේ ආශ්චර්ය පැහැදිලි වනවා

මහනුවරට වැසි ඇද නොවැටීමෙන් දළදාවේ ආශ්චර්ය පැහැදිලි වනවා

-ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ

by sachintha
April 24, 2025 1:33 am 0 comment

මහනුවර ආසන්නයේ ප්‍රධාන නගරවලට තද වැසි ඇද වැටෙද්දී දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් පෝලිම් ගැසී සිටින ප්‍රදේශවලට වැසි ඇද නොවැටීමෙන් දළදා වහන්සේගේ ආශ්චර්ය මනාව පැහැදිලි වන බවත් මෙය රටට යහපත් කාලයක් උදාවන බවට පෙර සලකුණක් බවත් වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පවසයි.

තෙල්දෙණිය පසුකර එද්දී එම ප්‍රදේශයට වැසි ඇද වැටුණු බවත් එලෙසින්ම ගඩලාදෙණිය ප්‍රදේශයට ද වැසි ඇද වැටුණු බවත් කී ආදිවාසී නායකයා මහනුවර නගරයට වැසි ඇද නොවැටුණේ යැයිද පැවසුවේය.

සිරි දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ඊයේ (23) පැමිණි අවස්ථාවේ වන්නියලෑ ඇත්තෝ මේ බව පැවසුවේය.

දළදා වහන්සේට පූජා කිරීම සඳහා මී පැණි හා විළඳ රැගෙන පැමිණි ආදිවාසී නායකයා එම පූජාවෙන් අනතුරුව දළදා වහන්සේ වැඳපුදා ගත්තේය. පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වන්නියලෑ ඇත්තෝ මෙසේද ප්‍රකාශ කළේය. දළදා වහන්සේ වැඳපුදා ගන්න ලැබීම ජීවමාන බුදුන් වහන්සේ දැක්කා හා සමාන හැඟීමක් ඇතිකරන්නක්. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේ උදෙසා මුලින්ම තන්තිරිමලේ දී මී පැණි පූජාවක් කළේ අපේ පිලන් ද නායක ඇත්තෝ යි. ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මල්වතු අස්ගිරි මහනායක හිමිවරු සහ දියවඩන නිලමේතුමන් අවුරුදු 16කට පසු දළදා වහන්සේ ජනතාවට දැක බලා ගන්න අවස්ථාව ලබාදීම අගය කරනවා. බුදුන් වහන්සේ ජීවමානව සිටියදීත් හැමෝටම උන්වහන්සේ සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. දළදා වහන්සේ වැඳපුදා ගැනීමට දින ගණන් පෝලිම්වල ජනතාව රැඳී සිටිනවා. ඉතා පහසුවෙන් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාවක් නොතිබීම එක්තරා විදිහකට හොඳයි. එහෙම වුණාම තමයි එහි වටිනාකම ආරක්ෂා වෙන්නේ.

අසේල කුරුළුවංශ‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT