Home » පාසල් පද්ධතිය නව්‍යකරණය කිරීමේ වැඩසටහනක්

පාසල් පද්ධතිය නව්‍යකරණය කිරීමේ වැඩසටහනක්

by sachintha
April 24, 2025 1:32 am 0 comment

මෙරට පාසල් පද්ධතිය තුළ නව්‍යකරණය, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාව විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගියදා (22) පැවැත්විණි. පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර නව්‍යකරණය හා නවෝත්පාදන පිළිබඳ උද්‍යෝගයක් හා උනන්දුවක් ඇති වන පරිදි එම විෂයන් හා සම්බන්ධ විශේෂ ක්‍රියාකාරකම් සහිත ප්‍රායෝගික වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට පෙර මෙවැනි ක්‍රියාකාරකම් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක කළ ද ඉදිරියේදී අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව ජාතික වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

විද්‍යාව ප්‍රචලිත කිරීම, පර්යේෂණ සංකල්ප හඳුන්වාදීම, නිර්මාණශීලිත්වය හා තාර්කික හැකියාවන් වර්ධනය, බුද්ධිමය දේපළ අයිතීන් තහවුරු කිරීම, ව්‍යවසායකත්වය ආදී සංකල්ප ඇතුළු නව්‍යකරණය හා නවෝත්පාදන පිළිබඳ ප්‍රායෝගික දැනුම පාසල් සිසුන් අතරට ගෙනයාම වැඩසටහන තුළ සිදු කෙරේ. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් දීර්ඝ ලෙස මෙම සාකච්ඡාව සිදුවිය. එහි පළමු පියවර ලෙස ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට දෙපාර්ශ්වය මෙහි දී එකඟතාවකට පැමිණියහ.

මෙම සාකච්ඡාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එම්. මොහොමඩ් නවාවි මහතා ඇතුළු අමත්‍යාංශයේ හා අනුබද්ධ ආයතන ප්‍රධානීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා හා ගණිත අංශවල අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT