Home » සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවට සපයා ඇති මූලික පහසුකම් ගැන ආරක්‍ෂක ලේකම් සොයා බලයි

සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවට සපයා ඇති මූලික පහසුකම් ගැන ආරක්‍ෂක ලේකම් සොයා බලයි

by sachintha
April 24, 2025 1:31 am 0 comment

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනයට සමගාමීව ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම හා සම්බන්ධ වත්මන් ප්‍රගතිය පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඊයේ (23) සහ පෙරේදා (22) දිනවල එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් බැතිමතුන් හට අවශ්‍ය කෙරෙන ආහාරපාන, ප්‍රථමාධාර හා සනීපාරක්‍ෂක පහසුකම් ඇතුළු මූලික පහසුකම් ලබාදීම මෙන්ම, ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් මේවන විටත් පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම හා ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ අරමුණින් අද දින එහි ගිය ආරක්‍ෂක ලේකම්වරයා, දැනට ක්‍රියාත්මක වැඩසටහන්හි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලූ අතර, දිවා රෑ නොබලා වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ මෙන්ම, සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයින් ඇගැයීමට ලක් කරන ලදි. මෙහිදී ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගනිමින් අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් අදාළ කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අමතා ඔවුන් හට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වර‍යා සමඟ ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති, 11 වන සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT