Home » සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් මියන්මාර් භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මිලියන 45ක්

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් මියන්මාර් භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මිලියන 45ක්

by sachintha
April 24, 2025 1:13 am 0 comment

මියන්මාර් ජනරජයේ ඇතිවු භූමිකම්පා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 45ක මුදල් පරිත්‍යාග කෙරේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් දිවයින පුරා පිහිටි ශාසනාරක්ෂක මණ්ඩලවල සහභාගිත්වය සහිතව රැස් කරන ලද රුපියල් මිලියන 45ක මුදල් පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ඊයේ (23) බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පිරිනමනු ලැබීය.

එම අවස්ථාවට සහභාගි වූ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි මහතා මෙසේද කීය.

මියන්මාර් ජනරජයේ ඇතිවු භූමිකම්පා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රජයක් හැටියට අප හිස නවනවා.

ථෙරවාද බුද්ධාගම අප දෙරටෙහිම මූලයයි. අපි හැමෝටම මේ අහිමිවීම් හොඳටම දැනුණා. මේක මහා පූර්වාදර්ශයක් වේවි.

අනුරාධපුර අවුකන පන්සලේ මහා නායක හාමුදුරුවෝ මෙතනට වැඩම කළා. යුවාන් ලක්ෂයක මුදලක් උන්වහන්සේ අරගෙන ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මුදලින් ලක්ෂ හතළිස් හයකට වඩා වැඩි මුදලක්.

විහාර සංවර්ධන කටයුතුවලට ලැබුණු මුදලක් මේ වගේ දේකට යොදවන්නේ නැත්නම් වැඩක් තියෙනවද කියලා උන්වහන්සේ ඇහුවා.

අප දෙරට අතර තිබුණු තානාපති සම්බන්ධකම් ඓතිහාසික, ආගමික සම්බන්ධතා සියල්ල මෙබඳු කටයුතුවලිනුත් පෝෂණය වෙනවා.

කරදරයකදී එකිනෙකාට පිහිටවීම ලංකාවේ අපි ඕන තරම් දැකලා තියෙනවා.

මේ කාරණයේදී මහා නාහිමිවරුන් සහ සීල මාතාවන් තෙරණින් වහන්සේලා මුල්වෙලා මේ සැපයූ පූර්වාදර්ශයට අපි ස්තුතිවන්ත වෙනවා.

එම අවස්ථාවට ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති මහාචාර්ය‍ තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමිපාණන් වහන්සේ, වැඩබලන ලේඛකාධිකාරී හාල්පන්විල පාලිත නාහිමිපාණන්වහන්සේ, උපලේකම් දුනුකේවත්තේ සීලවිමල නාහිමිපාණන් වහන්සේ, උප සභාපති තලගල සුමනරතන නාහිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා දසසිල් සංවිධානයේ ප්‍රධාන සභාපති පොලොන්නරුවේ ධම්මානන්දා සිල්මෑණියන්, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීහු ද එක් විය.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT