මාළු ඇල්ලීමේ අරමුණින් අනාරක්ෂිත ළිඳකට එබුණ තෙහැවිරිදි පිරිමි දරුවකු ළිඳට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සමන්තුරේ පොලීසිය කියයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමන්තුරේ උඩංගා 02 ප්‍රදේශයේ මොහොමඩ් නජාත් මොහොමඩ් ලුක්මල් නමැති වයස අවුරුදු 3ක දරුවෙකි.
මරණයට පත් දරුවා කිසියම් පුද්ගලයකු රැගෙන ගොස් ඇතැයි ලද පැමිණිල්ලකට අනුව සමන්තුරේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ජයලත් මහතා පැමිණ ගම්වැසියන් සමඟ අවට සෝදිසි කිරීමේදී නිෙවස අසල අනාරක්ෂිත ළිඳක පතුලේ මේ දරුවා වැටී සිටිනු දැක ඇතැයි වාර්තා වේ. ළිං පතුලේ සිටි කුඩා දරුවා රැගෙන කඩිනමින් සමන්තුරේ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය දරුවා අසල්වැසි නිවෙසක සිටි තවත් වයස අවුරුදු 11ක දරුවකු සමඟ මේ අනාරක්ෂිත ළිඳ අසලට ගොස් මාළු බලන්න සුදානම් වූ අවස්ථාවේදී කුඩා දරුවා ළිඳට වැටී ඇති බව සඳහන්.
ලිඳට වැටුණු දරුවාව 11 හැවිරිදි දරුවා විසින් ගොඩට ගැනීමට උත්සාහ කර තිබිණි. එය ව්‍යාර්ථ වූ තැන ඔහු බියවී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. මේ පිළිබඳව කිසිවකුට හෝ දන්වා නැතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.
පසුව දෙමව්පියන් විසින් දරුවා නැති බව දැන කව්රුන් හෝ පැහැරගෙන ගොස් ඇතැයි සිතා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.
පසුව පොලීසිය පැමිණ විමර්ශන ආරම්භ කිරිමේදී අතුරුදහන්වී සිටි දරුවා ළිං පතුලෙන් සොයා ගත්තේය.
ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමකදී 11 හැවිරිදි දරුවා සමඟ ළිඳට වැටුණු දරුවා ගමන්කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව ඒම දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවී ඇත.
නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සමන්තුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරවීර ජයලත් මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල