Home » අඹකොටේ 15 හැවිරිදි සිසුවාගේ මරණයට තවත් සැකකරුවන් 8ක් දැලේ

අඹකොටේ 15 හැවිරිදි සිසුවාගේ මරණයට තවත් සැකකරුවන් 8ක් දැලේ

by sachintha
April 24, 2025 1:09 am 0 comment

මිතුරන් පිරිසකගේ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කුරුණෑගල, අඹකොටේ ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 8දෙනකු අත්අඩංගුවට ගත් බව වෙලගෙදර පොලීසිය කියයි.

සැකකරුවන් ඊයේ (23) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වැනිදා තෙක් පරිවාස භාරයට පත් කළ බව පොලීසිය සඳහන් කරයි.

එම සිද්ධියට අදාළව සිසුවාට පහරදුන් සැකකාර සිසුන් තිදෙනෙක් ඉකුත් 17වැනිදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත මේ වනවිට පරිවාස භාරයේ සිටින බව ද පොලීසිය පවසයි.

ඒ අනුව මේ ඝාතනය සම්බන්ධයෙන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සියලු දෙනාම වයස අවුරුදු 16,17 සහ 18 වයස්වල පසුවන සිසුන්ය.

අඹකොටේ, හැවැන්පොළ සැකරලියාවත්තේ පදිංචි තිළිණ විරාජ් (15) නමැති සිසුවා මෙසේ මිතුරන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇත. ඔහු කුරුණෑගල බුලූවල මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙකි.

මෙම සිසුවා ඉකුත් (16) වැනිදා පල්ලියේ පූජාවකට සහභාගි වී සිටියදී මිතුරන් පිරිසක් පැමිණ කුරුණෑගල, කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදී ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදි හිස් වැසුමකින්ද සිසුවාට පහරදී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබිණි.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (22) සිසුවා මියගියේය.

මෙම සිසුවාට පහර දී මරා දැමූ සියලූ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා වෙලගෙදර පොලීසිය ඉදිරිපිට ප‍්‍රදේශවාසීහු පිරිසක් පෙරේදා (22) සවස විරෝධතාවක නිරත වූහ.

 

මාවතගම විශේෂ – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT