රටේ තිබූ මජර දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කළා – විදේශ කටයුතු ඇමැති විජිත හේරත්
රට ගොඩනඟන්න නම් පළමුවෙන්ම රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කළ යුතුයි
එක්සත් ජනපද බදු ගැටලුව රටට හිතකර අයුරින් විසඳා ගන්න උත්සාහ කරනවා
අප ලැබූ ජන වරමේ අපේක්ෂා සහ අරමුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන බවත් ජනතාව අපේක්ෂා කරන රට ඒ අයුරින්ම ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, පෙරේදා (22) පැවැති ‘ජය නියතයි- ගම අපිටයි’ ගම්පහ ජන රැලියකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා –
“දීර්ඝ කාලයක් පුරා මේ රටේ ජනතාව සිය ප්‍රාර්ථනා සහ අපේක්ෂා වෙනුවෙන් විවිධ වකවානුවල විවිධ පක්ෂ බලයට පත්කරගනු ලැබුවා. නමුත් එම පාලනයන් සිදු කළේ රට විනාශය කරා ඇද දැමීම පමණයි. ඒ නිසා හෙම්බත් වූ ජනතාව නව අපේක්ෂා පෙරදැරිව ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා.
ඒ නිසා ජනතාව තැබූ අපේක්ෂා ඒ අයුරින්ම ඉටු කරමින් කිසිදු අභියෝගයක් හමුවේ බිඳ නොවැටෙන ආර්ථිකයක් සහ ශිෂ්ටසම්පන්න සමාජයක් රට තුළ ගොඩනඟන බව අපි මුලින්ම අවධාරණය කරනවා.
මේ රට මෙතෙක් ගමන් කරමින් තිබූ දේශපාලන දිසාව සහ පවුල් කිහිපයක් සහ පරම්පරා කිහිපයක් අතර කේන්ද්‍ර වී තිබූ බලය පසුගියදා ජනතාව ජාතික ජන බලවේගය වෙත ලබාදුන්නා.
වංචාව, දූෂණය කේන්ද්‍ර කර ගත් දේශපාලන ව්‍යාපාර අත තිබූ බලය, අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳවට්ටන ලද සහ විනාශකාරීත්වය කරාගෙන ගිය කණ්ඩායම අත තිබූ බලය පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ පොදු ජනතාව අපට භාර දුන්නා.
පසුව නොවැම්බර් 14 වැනිදා පැවති මහ මැතිවරණයේදී ද මේ රටේ ජනතාව තම යුතුකම ඉතා හොඳින් ඉටු කළා. ඉන්පසුව නොවැම්බර් 21 කැබිනට් මණ්ඩලය රැස් වුණා.
පෙබරවාරි 16 අය-වැය ලේඛනය ඉදිරිපත් කළා. මාර්තු 21 වැනිදා අය-වැය ලේඛනය සම්මත කරගත්තා. අනතුරුව අපට අවශ්‍ය වුණා මේ පළාත් පාලන මැතිවරණය විගසින් පවත්වා සියල්ල එක් තැනකට ගෙන ඉදිරියට යා යුතුයි කියලා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 මාර්තු 12 වැනි දින. එහෙත් හිටපු පාලකයන් විසින් මැතිවරණය පැවැත්වූයේ නැහැ.
ඉක්මනින් මැතිවරණය පවත්වන්න කියලා අධිකරණයෙන් තීන්දුවක් ලැබුණා. ඒ අනුව අපේ ආණ්ඩුව බලයට පැමිණ සම්මත කර ගත් පළමු පනත වන්නේ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමයි.
2023 නාමයෝජනා ලබාදෙන විට තිබූ පක්ෂ මේ වන විට නැහැ. ඒ අනුව අපට අලුත් නාමයෝජනා ලබාදෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුණා.
කාටත් සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් අලුත් නාමයෝජනා කැඳවා අපි නීතියක් සම්මත කළා. ඒ අනුව අප්‍රේල් 6, 7, 8 දිනවල මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබුණා.
අපට ඉක්මනින් මැතිවරණය අවසන් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක් කැඳවා අපි එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහෙත් දින තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි.
විපක්ෂයේ අය ඉල්ලීමක් කළා මැතිවරණය කල්දාන්න කියලා. මා දන්නේ නැහැ කුමන හේතුවක් මතද කියා. මැතිවරණය මැයි 6 දිනට කල්දැමුවා. එසේ නොමැති නම් මේ වන විටත් ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වා මේ ආයතනවල දේශපාලන අධිකාරිය පිහිටුවා අවසන් කිරීමට තිබුණා.
මෙය දිගු කාලයක් මැතිවරණ පවත්වමින් සිටිමින් කාලය මිඩංගු කළ හැකි අවස්ථාවක් නොවෙයි. ඒ නිසයි අපි ඉක්මනින් පනත සම්මත කරදුන්නේ. එහෙත් ඡන්දය මාසයක් පමණ පසුපසට ගියා.
දැන් මැයි 6 වැනිදා මැතිවරණය පැවැත්වෙනවා. නියත වශයෙන්ම අපි සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපිට විශාලතම ජයග්‍රහණය ලබාදුන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයයි. එසේම මහ මැතිවරණයේදී ද විශාලතම ජයග්‍රහණයක් ලබාදුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවයි.
දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනා තිබෙනවා. අපේක්ෂා තිබෙනවා. ඒ ප්‍රාර්ථනා සහ අපේක්ෂා වෙනුවෙන් විවිධ වකවානුවල විවිධ පක්ෂ බලයට පත්කරගනු ලැබුවා.
විවිධ නායකයන් බලයට පත් කර ගත්තා. එම වසර 76ක කාල පරිච්ඡේදය පුරාවටම අපේ රටේ ජනතාව අපේ රට යහපත් රටක් බවට පත්කිරීමේ අරමුණින්, අපේ ජනතාවට වඩා සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණින් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා. නායකයෝ මාරු කළා. මේ හමුවේ හෙම්බත්වූ ජනතාවට දේශපාලනය අප්‍රසන්න වුණා.
අපේ රට ආර්ථික වශයෙන් පතුලටම කඩා වැටුණා. අපේ සමාජයේ විශාල බිඳ වැටීම් සිදු වීමට පටන් ගත්තා. රාජ්‍ය ආයතන පද්ධතිය කඩා වැටීමට පටන් ගත්තා.
රාජ්‍ය සේවය සහ පුරවැසියා අතර සබඳතා කඩා වැටීමට පටන් ගත්තා. අපි රටක් ලෙස මහා ව්‍යසනයකට මුහුණ දුන්නා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මේ හෙම්බත් වීම සහ විනාශය අවසන් කර ජාතික ජන බලවේගය අතට බලය මාරු කිරීමට ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා.
එය සාමාන්‍ය තීරණයක් නොවෙයි. 2019දී 3%ක්ව තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව නියෝජනය කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය කළා. එපමණක් නොවෙයි 2019 වසරේ 2/3ක බලයක් තිබූ අය 2.5කට පසු බැස්සා.
දීර්ඝ කාලයක් රට පාලනය කළ දේශපාලන ව්‍යාපාරවලට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි නොවන තරමට මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්වුවා. එය විශාල දේශපාලන හැරවුමක්.
ලක්ෂ 69, 2.5කට අඩු කර ගත් අයද දක්ෂ? දීර්ඝ කාලයක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය සිය ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිව එල්ලී සිට එක්කෙනෙක්, දෙන්නෙක් ඇතුළට දා ගැනීම ද දක්ෂ? 3%ක්ව සිටි දේශපාලන ව්‍යාපාරයක්වූ, මේ රටේ සුවිශේෂීම බලයක් අත්පත් කර ගත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම ද දක්ෂ? කියා ජනතාව තීරණය කළ යුතුයි.
අපි දන්නවා මේ රටේ ජනතාව බලය අප අතට ලබාදීම තුළ විශාල පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය වන්නේ “පැරණි දේශපාලනය යහපත් දිශානතියකට මුළුමනින්ම වෙනස් කරන්න, ඒ වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න, ජනතාවට සාධාරණයක් වන පරිදි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න, යහපත් රාජ්‍යයක් වෙනුවෙන් ජාතික සමගිය නිර්මාණය කරන්න.
ලෝකය ඉදිරියේ කළු තිතක් බවට පත්ව තිබූ ශ්‍රී ලාංකේය රාජ්‍යය යළි ලෝකය ඉදිරියේ බැබළෙන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න, විදෙස් සබඳතා ශක්තිමත් කර ගත් හොඳ රාජ්‍යයක් ගොඩනැඟීම” යන්නයි.
මේ ජන වරමේ තිබෙන අපේක්ෂා සහ අරමුණු අපි ඉතා හොඳින් දන්නවා. ඒ නිසා කිසිවෙක් එළියේ සිට මේ ජනවරමේ අපේක්ෂා පිළිබඳ අපිට ඇඟිල්ලෙන් ඇන ඇන කියා දිය යුතු නැහැ. ජනතාවගේ අරමුණු, අපේක්ෂා දිනපතා සිහිකරමින් අපි මේ ජනවරම සමඟ සජීවිව ජීවත් වෙනවා.
මේ රට ගොඩනැඟීමට නම් පළමුවෙන්ම රට තුළ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කළ යුතුව තිබුණා. ආර්ථිකය අස්ථාවර වෙමින් මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ විශ්වාස බිඳවට්ටමින්, ආයෝජකයන්ට රට පිළිබඳ විශ්වාස බිඳවට්ටමින් රටක් ලෙස ඉදිරියට යන්න බැහැ.
රටක් ඉදිරියට යෑමට නම් ව්‍යාපාරිකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ, කර්මාන්තකරුවන් හා ආයෝජකයන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසයක් ඇති කළ යුතුයි. අද අපි ඒ තත්ත්වය ඇති කර තිබෙනවා.
මාස 6කට පසුව ඉතිහාසයේ වැඩිම ව්‍යාපාරික විශ්වාසය දිනාගත් දර්ශකයේ ඉහළම අගයකට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බව ව්‍යාපාරිකයන් අතර වැඩිපුර පරිහරණය වන LNB සඟරාවේ සඳහන් කර තිබෙනවා.
මීට පෙර තිබුණේ නිදියන විට ඩොලරයේ අගය එකක්, නැඟිටිද්දී එක අගයක්. දැන් මාස හයක් එක දිගට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක සීමාවක පවත්වාගෙන යෑමට අපි සමත් වී තිබෙනවා.
වසා දමා තිබූ වාහන වෙළෙඳපොළ අපි විවෘත කළා.
ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ගෙවීමට තිබු ණය ප්‍රමාණය ගෙවනු ලැබුවා. එහෙත් ඩොලරය රුපියල් 300 මට්ටමේ තබා ගැනීමට හැකිවී තිබෙනවා.
අපි මේ අයුරින් රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කළා. ඒ සමඟ අතරමඟ නැවතී තිබූ විදේශ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
අපි බලයට එන විට ඇතැම් අය කිවුවා මාස 3න් ආණ්ඩුව කඩා වැටෙනවා කියලා. ඉන්පසුව කියන්න ගත්තා මාර්තුවල වැටෙනවා කියලා. දැන් කියනවා ඔක්තෝබර්වල වැටෙනවා කියලා. මම දැක්කා හිටපු ජනාධිපතිවරයා කියලා තිබෙනවා අපි වාහනය හප්ප ගත්තා කියලා. එතුමා දැන් අල්ලස් කොමිසමේ හප්පගෙන තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය විශේෂ බද්දක් පනවා තිබෙනවා. මෙම බද්ද පනවන විට එහි ජනාධිපතිවරයා සහ ආර්ථික විශේෂඥයන් බොහෝ සතුටු වෙන්න ඇති. මම හිතන්නේ ඊටත් වඩා සතුටු වුණා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ අය. කර්මාන්ත වැටෙනතුරු ඔවුන් බලා සිටියා.
දැන් එම බදු පැනවීම මාස 3කට කල් දමා තිබෙනවා. මේ වනවිටත් අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්සත් ජනපදයට ගොස් තිබෙනවා. මේ අවස්ථාව වන විට සාකච්ඡා පැවැවෙනවා.
අපේ රටේ ආර්ථිකයට හිතකර පරිදි මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම ඕනෑම රටක් ඕනෑම අවස්ථාවක ඇති කරන ආර්ථික සුළියකින් අපේ රටට අවම හානියක් වන අයුරින් අපි ආර්ථික සැලසුම් සකස් කරනවා.
කොහේ හෝ රටක යුද්ධයක් පටන් ගන්නා විට අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා නම්, යම් රාජ්‍යයක් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන විට අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා නම් එය රටක ආර්ථිකයට සුබදායී තත්ත්වයක් නොවෙයි.
එක්සත් ජනපද බදු ගැටලුව රටට හිතකර අයුරින් විසඳා ගැනීමට උත්සාහ කරන අතරම ලෝකයේ කවර රටක කුමන ආකාරයේ දේශපාලන සහ ආර්ථික තීන්දු ගත්තත් අපේ රටේ ආර්ථිකයට අවම හානියක් හෝ සිදු වන්නේ කොහොම ද කියා නව ආර්ථික සැලසුම් සකස් කර එම තත්ත්වයට අපි මුහුණ දෙනවා.
රටවල් ගොඩනැඟෙන්නේ අභියෝග හමුවේයි. එම අභියෝග මතින් සාර්ථකව පියමං කළ හැකි අන්දමින් සැලසුම් සකස් කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්.
අද විපක්ෂය නිරන්තරයෙන් ආර්ථිකය ගැන සැකයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. ආර්ථිකය පිළිබඳ නරකම දේ සැකය නිර්මාණය කිරීමයි. එවිට අයෝජකයන් අධෛර්යමත් වෙනවා. හිතාමතා, සැලසුම් කර ඔවුන්ගේ පරාජයේ වේදනාව හමුවේ මෙවන් දේ සිදු කරනවා.
ඔවුන් කිසිදා සිතුවේ නැහැ මෙවන් තත්ත්වයක් ඇති වෙයි කියා. ඔවුන් කෙතරම් උද්දච්ච ද කියනවා නම් අල්ලස් කොමිසමෙන් ලිපියක් යොමු කළා “කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින්න” කියලා.
එවිට කියලා තිබුණා මම අවුරුදු කනවා එන්න බැහැ කියලා. එහි මානසිකත්වය තේරුම් ගන්න. ඉන්පසුව, අල්ලස් කොමිසම දැනුම් දුන්නා 25 වැනිදා පෙනීසිටින්න කියලා. එවිට මම දැක්කා මාධ්‍යවල සඳහන් කර තිබුණා නීතිඥයා පිටරට ඉන්නේ ඒනිසා 25 වැනි දිනත් එන්න බැහැ කියලා දැනුම්දී තිබෙනවා.
ඔවුන් මෙම ආයතන පද්ධතිය කෙරෙහි පුරවැසියා තුළ තිබෙන විශ්වාසය සහ ගෞරවය මුළුමනින්ම විනාශ කළා පමණක් නොවෙයි එම ආයතනවලට වඩා ඉහළින් කටයුතු කළා.
අද පරාජය හමුවේ ඔවුන්ට දරාගත නොහැකි මනෝභාවයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන් අවිනිශ්චිතතාවක් සමාජය තුළ නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. එහෙත් ජාතික ජන බලවේගය ඉතාමත් සැලසුම් සහගතව රටේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. ඒ බව මම ඔබට සහතික වෙනවා.
විදේශ කටයුතු ඇමැති විජිත හේරත්:
“මීට අවුරුද්දකට එකහමාරකට පෙර අපේ රට තිබ්බේ කොහොම ද? අපි භාර ගත්තේ රිම් එකට වැටුණු රටක්. අප්පොච්චිල, මහප්පොච්චිල, බාප්පොච්චිල මේ රට කළ ආකාරය හැමෝටම මතකයි.
ඔවුන්ගේ එම මජර දේශපාලන සංස්කෘතිය අප මුළුමනින්ම වෙනස් කළා. එදා මැති ඇමැතිකම් ගන්න බොහෝදෙනා උත්සාහ කළේ හම්බකරන්න.
මේ සිංහල අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්ක ද ජනාධිපති ආර්යාවෝ අවුරුදු නැකතට කැවුම්, කොකිස් බදිනවා. ඉස්සර නම් කොහොමද? කැරකි, කැරකි කොකිස් බදින අන්දම අප දකිනවා.
චංචාව, දූෂණය , නාස්තිය නැතිකර තිබෙනවා. අප භාර ගත් මාස කීපය තුළ රට පෙරට ගෙන ඒමට සමත්වී තිබෙනවා. විදෙස් රටවල ආයෝජකයෝ අපේ රටේ ආයෝජන සඳහා පැමිණෙමින් තිබෙනවා. මේ වන විට ආපේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා.
අප ජනතාවට සහන ලබාදෙනවා. මේ සියල්ල කරන්න අපේ ජනාධිපතිතුමාට ඇලඩින්ගේ පුදුම පහන ලැබිලා ද? නැහැ. මොකක්ද මේ මැජික් එක. වෙන මොකක්වත් නොවෙයි එකම රහස දූෂණය, නාස්තිය, වංචාව, හොරකම නැති කිරීමයි. දැන් ජනාධිපති රට යද්දි විශාල පිරිස් අරගෙන යන්නෙ නැහැ. එම සල්ලි ඉතුරුයි. ඒවා තමයි අපි ජනතාවට ලබා දෙන්නේ.”
කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ-
“අප්‍රේල් මාසෙ 21 දිනට පාස්කු ප්‍රහාරය සිදුවී මාස 72ක් ගත වෙනවා. ඒකෙන් මාස 67ක් ආණ්ඩු කළ අය අපෙන් අහනවා මාස 5ට මොනවද කළේ කියලා. අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට රට විනාශ කළ විපක්ෂය අපෙන් මාස 5ට කළේ මොනවද කියලා අහනවා.
පසුගිය දිනවල ලයිට් බිල 20%ත් 30%ත් අතර අඩු වුණා. අපි ගන්න කොට පෙට්‍රල් ලීටරය මිල රු: 332/-යි. අද 299/-යි. රුපියල් 33/-කින් පෙට්‍රල් මිල අඩු වෙලා තිබෙනවා. ඩීසල් ලීටරය රු:321/-යි. දැන් රු:286/-යි.
රු:35/-කින් ඩීසල් මිල අඩු වෙලා. ගිය අවුරුද්දේ ලූනු කිලෝ එකක් රු:480/-යි. දැන් රු: 160/-යි. අල, පරිප්පු, බිත්තර, කුකුළු මස් ටික සෑම භාණ්ඩයකම මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තිබෙනවා.
වැඩි වුණා නම් කතා කරනවා, හැබැයි අඩු වුණු ඒවා ගැන කතා කරන්නේ නැහැ. අය-වැයෙන් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ගෙනාවා. සමාජයේ කිසිදු කණ්ඩායමක් අමතක නොකළ අය-වැයක්. මෙතෙක් ඉතිහාසයේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් කෝටි එක්ලක්ෂ හතළිස්දාහක් වැඩිපුරම වෙන් කළ අය-වැයක්.
පසුගිය දෙසැම්බර් 10 සම්බන්ධීකරණ කමිටුවේ වැඩ ආරම්භ කළේ. දෙසැම්බර් 11 අනුකමිටු 13ක් අපි හැදුවා. ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක, පරිසර, ධීවර, සෞඛ්‍යය, අධ්‍යාපනය, කලා, සංස්කෘතික, ක්‍රීඩා සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන ආකාරයෙන් මේ අනුකමිටු හැදුවා. අපේ මැති ඇමැතිවරුන් ඒවාට මූලිකත්වය දරනවා.
පෙබරවාරි 25 අපේ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ඔයවල් තුන ඌරුවල් ඔය, ගී ඇලි ඔය, අත්තනගලු ඔය, ඒවායේ තිබෙන බාධක ඉවත් කරන්න පටන් ගත්තා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයට ගංවතුර එනවා. අපි එයට තාවකාලික පිළියමක් යොදා ගන්න ඕනෑ.
අපි කතා කළා පළාත් සංවර්ධන අධිකාරියට, පී.ආර්.ඩී. එකට, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට, වාරිමාර්ග දෙපාර්දෙමේන්තුවට. මේ ආයතන එකතු කර සැලැස්මක් හැදුවා. පෙබරවාරි 25 ආරම්භ කළ ඒ සැලැස්ම මැයි මාසය දක්වා ඉදිරියට යමින් තිබෙනවා.
කරන්න බැහැයි කියපු වැඩ අපි ආරම්භ කළා. කෘෂිකර්ම අනුකමිටුවෙන් අප්‍රේල් 2 වැනිදා අපේ නිලධාරීන් එක්ක එල්.ආර්.සී. එක සතු ඉඩම් ගණනාවක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
වල්බිහි වුණු අක්කර සියදහස් ගණනක ඉඩම් තිබෙනවා. එම ඉඩම් වගා කරන්න අපි සැලසුම් හැදුවා. මේ අවස්ථාවේ මැතිවරණය නිසා අනුකමිටු කැඳවන්න නොහැකි නිසා මැයි 6 වැනිදා පසුවෙන තෙක් කල් දමන්න සිදු වෙලා. පසුගිය පළමු වැනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවන්න ගත්තා.
වාරිමාර්ග ප්‍රතිසංස්කරණ සඳහා වෙන්කර තිබෙන කෝටි 25ක මුදල වියදම් කරන්න අපට නිලධාරීන් නැහැ. අපට වාහන නැහැ. වැඩ ටික කරන්න මැනගන්න, ඇස්තමේන්තු කර ගන්න අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ.
පසුගිය කාලයේ මේ රාජ්‍ය ආයතනවලට ඇති තරම් පිරෙවුවා. නමුත් අත්‍යවශ තනතුරුවලට අවශ්‍ය නිලධාරීන් බඳවා ගත්තේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපට අවශ්‍ය වේගයෙන් කටයුතු කරගෙන යෑමට බැරි තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
අපි මොනවද කළේ අහන අයට කියනවා, ජාතික වශයෙන් කරපු වැඩ ගොඩක් තිබෙනවා, දිස්ත්‍රික්කයේ කරමින් තිබෙන වැඩ ගොඩකුත් තිබෙනවා.
තව කාලය ගත වන විට පාර්ලිමේන්තු නෙවෙයි, ප්‍රාදේශීය සභා ඡන්දෙකටවත් තරග කරන්න ඉදිරිපත් වෙන්න නොහැකි තැනකට ඔය විපක්ෂය ඇදවැටෙනවා.
සජබ කිවුව බොරුවක් තමයි, ජා-ඇළ වැලිගම්පිටියේ තිබෙන ත්‍රිපෝෂ කම්හල වහන්න යනවා කියලා. අපි ඒ කම්හල වහන්න නොවෙයි, මේ අවුරුද්දේ ත්‍රිපෝෂ කම්හලේ අපේක්ෂිත ආදායම කෝටි සියයක් (බිලියන 1ක්) බවට පත්කර තිබෙනවා.
අපට පළපුරුද්ද නැහැයි කිවුවා. හැබැයි මාස 5ක් ඇතුළත ආර්ථිකය ස්ථාවර කරලා, මේ රට නිවැරැදි දිසාවට ගෙනයමින් තිබෙනවා. සංචාරකයන් එන්නේ නැහැ කිවුවා.
ගෙවුණු මාස 3 ඇතුළත ලක්ෂ 7 ඉක්මවූ සංචාරකයන් මේ රටට ඇවිත් තිබෙනවා. ඩොලර් කෝටි 120කට වැඩි ආදායමක් ලැබී තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19යි. කොට්ඨාස 417යි. ඒ සෑම ආයතනයක්ම මැයි 6දා ඉහළින්ම ජයග්‍රහණය කර පිළිතුරු දෙනවා. අපිට කිසිදු අභියෝගයක් නැහැ.
අදටත් මේ සභාවල විශාල වැඩ කොටසක් සිදු වෙමින් තිබෙනවා. ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ දිරාපු ගොඩනැඟිල්ලකට ලක්ෂ 320ක් වියදම් කරමින් තිබෙනවා.
ගම්පහ නගර සභාවේ තිබෙන කැබ් රථයක් නීත්‍යනුකූලව ඉල්ලා ගත්තා. මම ඉල්ල ගන්නකොට ඒ කැබ් රථය කිලෝ මීටර් හාරලක්ෂ විසිපන් දහසක් පැදලා. ඒකෙ ධාවන සටහන් මම ඉල්ලුවා. අද වනවිට මාස 2යි දවස් 5යි. අද වෙනතුරු ධාවන සටහන් ලැබුණේ නැහැ. මේක තමයි ප්‍රාදේශීය සභාවල තත්ත්වය.
වත්තල ප්‍රාදේශීය සභාවේ අක්කර 3.7ක් රුපියල් 3700/-කට බදු දී තිබෙනවා. අක්කරයකට බද්ද රුපියල් 87/-යි. වංචාවෙන් දූෂණයෙන් පිරුණු මේ පළාත් පාලන ආයතන මැයි 6 දින මාලිමාවට ලබාදීලා මහ ආණ්ඩුව වගේම ප්‍රාදේශීය සභා හදලා ඉදිරි කාලය තුළ මේ ආයතන කාර්යක්ෂම, අදූෂිත සභාවන් බවට පරිවර්තනය කරමු.
ඒ වෙනුවෙන් ගමින් ගමට, නගරයෙන් නගරයට යන්න. ලබන 6 වැනිදා ඉහළම ජයග්‍රහණයක් ලබන්න වැඩ කරන්න හැමදෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය
ඡායාරූප – චන්න ජයවර්ධන