Home » ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුට මරණීය දණ්ඩනය

ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුට මරණීය දණ්ඩනය

by chanaka
April 24, 2025 11:42 am 0 comment

2015 වසරේ කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

2015 වසරේ ජූලි මස 29 වැනිදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ධර්ම රාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියෙන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැට්‍රික් ක්‍රිෂ්ණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවය.

කෙසේවෙතත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT