වසර 2030 දී ඉන්දියාවේ ප්‍රධානතම විදෙස් වෙළෙඳ හවුල්කරු බවට පත්වීමේ අරමුණින් සවුදි අරාබිය ඉන්දියාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනටමත් සවුදි අරාබියේ දෙවැනි විශාලතම වෙළෙඳ හවුල්කරු වන ඉන්දියාව තවත් වසර තුනකින් ලොව විශාලතම තුන්වැනි ආර්ථිකය බවට පත්වනු ඇතැයි ලෝක ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කර ඇති අතර, එරට මහපරිමාණයෙන් ආයෝජන සිදු කරමින් එහි ප්රතිලාභ අත්කර ගැනීම සෞදි අරාබියේ ඉලක්කය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ලෝක ඩිජිටල් ක්ෂේත්රය තුළින් ලොව නැඟී එන රටක් බවට පත්වී ඇති ඉන්දියාව සමඟ සවුදි අරාබිය වසර 2023-24 මූල්‍ය වර්ෂයේදී සිදු කළ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු අමෙරිකානු ඩොලර් බිලියන 42.98 ඉක්මවූ බවත්, ඊට ඩොලර් බිලියන 11.56ක ඉන්දීය අපනයන සහ ඩොලර් බිලියන 31.42ක සමස්ත ආනයන ඇතුළත් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ වන විට සවුදි අරාබිය සහ ඉන්දියාව අතර අභ්‍යවකාශ තාක්ෂණය, හරිත හයිඩ්රජන් සහ යටිතල පහසුකම්, ආරක්ෂක සහ සංස්කෘතික වශයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් වී ඇතැයි ද, ඉන්දියාවේ සවුදි අරාබි ආයෝජන ඩොලර් බිලියන 10ක සීමාවට ආසන්න වී ඇතැයි ද වාර්තා වේ.