ළමයාට; සමනලයකුට මෙන් ඉගිළ යන්නට ඉඩ දෙන්න යැයි එක්තරා පඬිවරයෙක් කියයි. වේවැල පෙන්නමින්, දිමිගොටු පෙන්වමින් උන්ට හරි මඟ කියා දෙන්න යැයි තවත් වැඩිහිටියෙක් අපට තර්ජනය කරයි. විභාගය ද? දෑතේ හුරුව ද? නැත්නම් කීකරුකම ද යැයි තවත් ප්‍රශ්නාවලියක් අප ඉදිරියෙහි මැවෙයි. ඒ අතර පුංචි දැරියක් ලොකු පොතක් ලියයි. ඒ නිදහස නිසා ද? නැත්නම් වේවැල නිසා ද?
වැඩිහිටියකුගේ නිර්මාණ – කෘතියක් ගැන ගුණ – දොස් දැක්වීම පහසුය. එය ආස්වාදජනකය. එහෙත් දරුවකුගේ නිර්මාණ කෘතියක් ගැන අදහස් දැක්වීම එබඳු පහසු හෝ වින්දනීය හෝ ප්‍රයාමයක් වන්නේ නැත. මක්නිසාද යත්; විචාරකයාට එහිදී බරපතළ වගවීමක් දරන්නට සිදු වන බැවින්ය. මෙහිලා විචාරකයා පරෙස්සම් විය යුතුය. සූක්ෂ්ම විය යුතුය. දරුවාගේ විභවයන් හොඳින් වටහාගත යුතු අතර, ඊට අබමල් රේණුවක හානියක් – බාධාවක් සිදු නොවන අයුරින් වචන පෙළගැස්විය යුතුය. වරදක් වුව පෙන්වා දිය යුත්තේ කිසිදු සිත් රිදවීමක්, අයහපත් හැඟවීමක් සිදු නොවන අයුරින්ය. කොටින්ම දරුවකුගේ සාහිත්‍ය කෘතියක් පිළිබඳ මත දැක්වීම දැළි පිහියකින් කිරි කෑමකට සමාන කළ හැකිය. මෙහි සරල අර්ථය වන්නේ කොන්දේසි විරහිතව දරුවාගේ නිර්මාණ කුසලතා පරිකල්පන හා රචනා විලාස නිරීක්ෂණයට විචාරකයා පෙලැඹවිය යුතු බවය. එමෙන්ම කර්තෘ ඉදිරියේ නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සූදානම් විය යුතු බවය. ඒ සියල්ලට එකඟව මේ කාර්යසාධනය සඳහා ඉදිරිපත් වන බව පාඨකයාට හැඟවිය යුතුය.
අද අපගේ විචාර කවුළුවේ නිරීක්ෂණයට ලක්වන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වන ලිසඳි තිසෙව්නි අත්තනායක නම් දැරියගේ කෙටිකතා සංග්‍රහයකි. එම කෙටිකතා සංග්‍රහයට කෙටිකතා පහක් ඇතුළත් වන අතර, එය ‘කිතලා සහ තවත් කතා’ යනුවෙන් නම් කර ඇත. සෑම කතාවකටම මුලින් ආකර්ෂණීය ඡායාරූපයක් පළකර තිබේ. එය සිංහල කෙටිකතා සංග්‍රහවල දක්නට ලැබෙන දුර්ලභ ලක්ෂණයකි. එය කතුවරියගේ තෝරාගැනීමක් සේ අපට පෙනී යයි. සිංහල ස්වතන්ත්‍ර ප්‍රබන්ධ කතා කලාව නිරීක්ෂණය කරන විට පෙනී යන සත්‍යයක් වන්නේ ස්වතන්ත්‍ර කෙටිකතාවට ඇති ඉල්ලුම අඩු නිසාම කෙටිකතා සංග්‍රහ පළවීම අඩු බවය. සාමාන්‍යෙයන් වසරකට පළ වන සිංහල කෙටිකතා සංග්‍රහ ගණන සියයකට අඩුය. එය ද වැඩිහිටියන්ගේ නිර්මාණ ලෙස සැලැකිය හැකිය. එහෙත් ලෝක සාහිත්‍ය තුළ කෙටිකතාවට ඇති සමාජ වටිනාකම ඉහළය. කෙටිකතාව බුද්ධි විෂය නිර්මාණ විශේෂයක් ලෙස සැලකේ. ඉන් ලෝකයේ ප්‍රධාන මානවීය ගැටලු සංවාදයට ගනු ලබන අවස්ථා වැඩිය. එමෙන්ම අසල්වැසි ඉන්දියාවේ පවා බුද්ධි විෂය සාහිත්‍ය ප්‍රබන්ධයක් සේ කෙටිකතාවට ලැබෙන සමාජ අගය ඉතා ඉහළය.
අත්තනායක දියණියගේ ‘කිතලා සහ තවත් කතා’ කෙටිකතා සංග්‍රහය තුළ බැලූ බැල්මටම පෙනෙන විශේෂතා හතරක් ගැන පළමුව සාකච්ඡා කළ යුතුය.
I. කතුවරිය කිසිදු විටෙක ආධුනික බවක් නොපෙන්වයි. ඇය මේ විෂය පිළිබඳ යම් නිපුණතාවක් ලබා ඇත.
II. කෙටිකතා විෂයයෙහි තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම සඳහා කතුවරිය යම් උත්සාහයක් දරයි. එය අගය කළ යුතු මට්ටමක පවතී.
III. කතුවරිය යම් අත්හදා බැලීම් සිදු කරයි. ඒවා සාර්ථකව මෙහෙයවයි. කොපි කිරීම්වලට නොයයි.
IV. සෑම කතාවක් ම අවුලකින් තොරව ගොඩනඟයි. පැහැදිලිතාව ඉතා ඉහළින් ආරක්ෂා කරගෙන තිබේ. එය ඇඟයීමට ලක්කළ යුතුය.
දරුවන් මෑත කාලය තුළ රචනා කොට එළිදැක්වූ පොත් ගණනාවක් කියවා ඇත්තෙමි. ඒ සෑම කෘතියකම පාහේ දැඩි ආධුනික බවක් දකින්නට ලැබේ. කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ශිල්පීය ලක්ෂණ හොඳින් හසුරුවා ගැනීමට දක්වන අසමත්කමය. එය වැඩිහිටි ලේඛකයන් ළඟ පවා බහුල ලෙස දක්නට ලැබෙන දුර්ගුණයකි.
ශිල්පීය ලක්ෂණ යනුවෙන් හඳුන්වන්නේ කවර කරුණු ද? කවර ලක්ෂණ ද?
I. කතා වස්තුව ගොඩනැඟීම ප්‍රධාන සිද්ධි ගළපමින් කතා ආකෘතිය හා සැළකිල්ල ගොඩනැඟීම (PLOT AND STRUCTURE)
II. චරිත නිරූපණය, සිද්ධි නිරූපණය, පසුබිම් නිරූපණය
III. දෘෂ්ටි කෝණය තෝරාගැනීම උත්තම පුරුෂයෙන් කතාව ඉදිරිපත් කරන්නේ ද? ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කරන්නේ ද, නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්නේ ද, අන්තර්ගතයට සුදුසු වන්නේ කවර දෘෂ්ටි කෝණයක් ද යන්න නිවැරැදිව තෝරා ගැනීම.
IV. භාෂාව හා ශෛලිය තෝරාගැනීම, රිද්මය පවත්වා ගැනීම, සජීවී දෙබස් ඉදිරිපත් කිරීම, ආඛ්‍යානය පවත්වා ගැනීම ආදිය සඳහන් කළ හැකිය.
V. කතාවක ආරම්භයේ ආකර්ෂණය පවත්වා ගැනීම, කතාව අවසානයේ හැඟීමක්, අර්ථයක්, ඉඟියක් පළ කිරීම.
19 වන සියවසේදී බටහිර සාහිත්‍ය තුළ මෝරා වැඩුණු කෙටිකතාව අද වන විට නූතන ශිල්පීය ලක්ෂණ රැසක් ඊට එකතු කරගෙන තිබේ. බටහිර යැයි කියූවද රුසියානු හා ඉන්දියානු කෙටිකතා සම්ප්රදායන්වලට ද මෙහිලා ප්‍රධාන තැනක් ලැබේ. සිංහල කෙටිකතාකරුවන් ඉන්දීය, වියට්නාම්, කොරියානු, ජපන්, චීන ආදී කෙටිකතාවල ආභාසය ද ලබා ඇත. ඒ රුසියන්, ප්‍රංශ, අමෙරිකන්, එංගලන්ත කෙටිකතාවල ආභාසයට අමතර ලෙසය. මූලික වශයෙන් අපේ සම්භාව්‍ය කෙටිකතාකරුවන් ආභාසය ලබාගෙන ඇත්තේ ප්‍රංශ හා රුසියන් කෙටිකතාවලින් බව පෙනී යයි. ප්‍රංශයේ ගී ද මෝපසං හා රුසියන් කෙටිකතාවේ චෙකෝව් අපේ පරමාදර්ශයන් සේ සැලැකිය හැකිය.
මෝපසංගේ ගුරුවරයා වූ ෆ්ලෝබයා පෙන්වා දුන්නේ ප්‍රබන්ධ කතා රචනයේදී කතුවරයා කතාවෙන් ඉවත් වී (Author you out!) චරිත නිරූපණයට හා සිද්ධි නිරූපණයට මුල් තැන ලබා දිය යුතු බවය. කොටින්ම කතුවරයාට කතාවේ පෙනී සිටීමට කිසිදු ඉඩක් නැත. එහෙත් අද එම ශිල්ප ධර්මය පිළිගන්නේ නැත. කතුවරයා මැදින් පැන අදහස් දැක්වීම කතාවකට ගළපාගත හැකි බව අද උපදේශකයන්ගේ මතය වෙයි.
(The Imotion Thesurus) නමින් ප්‍රබන්ධ කතාවට උපදේශ ග්රන්ථයක් සපයන ඇන්ජෙලා හා බෙකා නම් ලේඛිකාවන් දෙදෙනාගේ අදහස වන්නේ කතුවරයා කතාවේ අදහස් දැක්වීමට ඉඩක් ලබාගැනීමත් එමෙන්ම කතාව අවසන් වන තුරුම රහසක් රැක ගැනීමත් වැදගත් ලක්ෂණ දෙකක් බවය. අද ඒ අනුව අමෙරිකන් කෙටිකතාවට නව හැඩතලයක් ලැබී ඇති බව නිරීක්ෂණවලින් පැහැදිලි වෙයි.
කිතලා කෙටිකතා සංග්‍රහයේ කතුවරිය කතා වස්තු ගොඩනැඟීම මැනැවින් සකස් කරගෙන තිබේ. ඇය කිසිදු ආධුනික බවක් පළ කරන්නේ නැත. ඇන්ජෙලා ඇක්මන් හා බොකෙ යුග්ලිස්ට් ඉදිරිපත් කර ඇති උපදේශන ග්රන්ථයෙහි සඳහන් වන අන්දමට ප්‍රබන්ධ කතා රචනයෙහි අංක එකේ වැදගත් ශිල්පීය ලක්ෂණය වන්නේ කතා වස්තුව ගොඩනැඟීම හා එහි ආකෘතිය සකස් කර ගැනීමය. කතා වස්තුව ශක්තිමත්ව ගොඩනඟා ගැනීම යනු කෙටිකතාවෙන් අඩක් නිම වීමය. කිතලා හා තවත් කතා කෙටිකතා සංග්‍රහයේ සෑම කතාවක්ම ශක්තිමත් ආරම්භයකින් යුතුය. ආරම්භය ප්‍රධාන ලක්ෂණ කිහිපයකින් සමන්විතය.
I. ආකර්ෂණය
II. කුතුහලය
III. අපූරු භාෂාව
මලී කතාව ආරම්භ වන්නේ පින්නවල අලි අනාථාගාරයෙන්ය.
‘පශු වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කරාට පස්සෙ මගේ පළමු පත්වීම හම්බවුණේ පින්නවල අලි අනාථාගාරයටයි…’
පශු වෛද්‍යවරියක් හා අලි අනාථාගාරය ද අලි පැටියෙක් ද පාඨකයාට පළමුව මුණගැසෙති. මේ කතාවෙන් නිරූපණය වන්නේ අලියා හා මිනිසා අතර පවත්නා ඓන්ද්‍රීය සම්බන්ධතාවයි. කතුවරියගේ පෙළගැසීම ඔස්සේ එහි ඉතා සියුම් සබඳතා නිරූපණය වෙයි. ජීව ගුණයෙන් පිරි භාෂාවක් සඳහා සාම්ප්‍රදායික ලිඛිත භාෂා සම්ප්රදාය වෙනස් කරගෙන ඇත. ඉන් කතාවට හානියක් සිදු වී නැත.
‘සනුහරේ සුවඳ’ නම් කෙටිකතාව ආරම්භ වන්නේ අපූරු සංවාදයකින්ය. එම සංවාදයෙහි සජීවී බව මෙන්ම ගැළපීම පුදුමසහගතය. ප්‍රවීණ ලේඛකයන් බස හසුරවන ආකාරය අප සිහියට නැඟේ.
‘පුතේ, කෑම බෙදාගන්නකොට බංඩියට ගැළපෙන්න බෙදාගන්න! අපට අහක දාන්න බත් නෑ. මේ හැම බත් ඇටයකම තියෙන්නෙ අප්පච්චි සීයගෙ මහන්සිය!’
(පිටුව -49)
ප්‍රබල සංවාදයකින් කෙටිකතාවක් ආරම්භ කිරීම අපූරු උපාය මාර්ගයකි. එය සජීවී සංවාදයක් හා යටි අරුත් සහිත සංවාදයක් වීම වඩා වැදගත්ය. අතීතයේදී මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ ක්‍රමය බහුලව භාවිත කර තිබේ.
කිතලා කතාවේදී ලතින් අමෙරිකානු රටවල ප්‍රචලිත ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශිල්ප ධර්මය භාවිත කරන්නට කතුවරිය උත්සුක වී ඇත. එහෙත් එය අවුලක් බවට පත්කරගෙන නැත. ‘සීරේස්’ කතාව විද්‍යා ප්‍රබන්ධයකට සමානය. අජටාකාශ තරණයට අදාළ කිසියම් ඥානයක් නැති අයට එම කතාව රසවිඳිය නොහැකිය. අපේ පුංචි කතුවරිය අජටාකාශ තරණය පිළිබඳ උනන්දුවක් දක්වන බව ද ඇයට ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති බවද එම කතාව කියවන විට පැහැදිලි වෙයි. සමස්තයක් ලෙස ගත් කල මේ කතා සමුච්චය නරක නැත. ඇය එම වයසේ ශිෂ්‍ය පරපුරට ආදර්ශ රැසක් ලබා දී ඇත.
අත්තනායක දැරිය මෙන්ම ඇය ඇතුළත් කුටුම්බය ද එම සමාජය ද දරුවන් පිළිබඳ අපූරු කතාන්දරයක් අපට කියා දෙයි. ඒ සඳහා මේ කතා පොතේ පෙරවදන කියැවීම සුදුසු යැයි අවසන් ලෙස සටහන් කර තබමි.
රන්ජන් අමරරත්න