Home » ආත්ම අභිමානය පරමාදර්ශ චරිත හරහා දරු පරපුරට දිය යුතුයි

ආත්ම අභිමානය පරමාදර්ශ චරිත හරහා දරු පරපුරට දිය යුතුයි

-මහාචාර්ය අජන්තා හපුආරච්චි

by sachintha
April 24, 2025 1:36 am 0 comment

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්යවරියයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ නිරන්තර අධ්‍යයනයකින් පසුවන ඇය මේ වන විට සමාජ විද්‍යාත්මක පර්යේෂණවල නිරත වන්නීය. ඇය විසින් රචනා කළ 21 වැනි ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදි. එය ‘රටට ණය නැති මිනිස්සු’ ය. ‘රටට ණය නැති මිනිස්සු’ ගැන මහාචාර්ය හපුආරච්චි සමඟ කළ සාකච්ඡාවයි මේ.

ඔබ ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රීය ලිපි හා ග්‍රන්ථ සම්පාදනය කළ ලේඛිකාවක්. නමුත්, ඉන් එහාට ගොසින් මෙවන් ග්‍රන්ථයක් සම්පාදනය කළේ කුමන අරමුණකින්ද ?

කාරණා දෙකක් හේතු වෙනවා. එකක් තමයි, මම සමාජයට කියලා පොතක් ලියලා නෑ. මෙතෙක් කල් මම පොත් ලියලා තියෙන්නේ මගේ ශිෂ්‍යයන්ටයි. ඒ කාර්යයට තවත් කට්ටිය ඉන්නවනේ. ළමා පරපුරට, තරුණ පරපුරට සහ සමාජය වෙනුවෙන් තවත් ඕන තරම් දේවල් අපට කරන්න තිබුණා. මං හිතන්නේ මට අතපසු වුණු දෙයක් තමයි මම මේ කළේ. මේක මම මීට කලින් කරන්න තිබුණු දෙයක්. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. ඒත්, ප්‍රමාද වෙලා හරි සමාජයට හා ඊළඟ පරපුරට පවතින දෙයක් කරන්න ඕන කියලා හිතුණා. ඒවගේම අපට තිබුණු පරමාදර්ශ දැන් පරපුර දන්නේ නෑ. අලුත් පරපුර බොහෝම වෙනස්. ඒ අයට පරමාදර්ශ ඕනේ නැහැ. අපිත් පරමාදර්ශ පසුපස ගියේ නැති වුණාට, ඒවගෙන් ගත්ත දේවල් තිබුණා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, මාටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන සහ කුමාරතුංග මුනිදාස වගේ නම් ඇහෙනකොට අපට යම් යම් දේවල් කාන්දු වුණා. හැබැයි දැන් ඉන්න පරපුරට ඒවා නෙවෙයි කාන්දු වෙන්නේ. මොබයිල් එකට සමාජ මාධ්‍ය හරහා එන හරසුන් චරිත ඇතුළු නොයෙකුත් හරසුන් දේවල්, ගොසිප් තමයි කාන්දු වෙන්නේ. මේක මහා භයානක තැනකයි තියෙන්නේ. ඒ නිසා මට හිතුණා, 10 දෙනෙක් හරි හදන්න, මේ වගේ එකක් කරන්න ඕනෑ කියලා.

අනෙක් කාරණය තමයි, ලෝකයේ බොහෝ රටවල් ‘ආත්ම අභිමානය’ කියන විෂය උගන්වනවා. ‘ආත්ම අභිමානය’ කොහොමද ඇති කර ගන්නේ ? තමන් හඳුනා ගන්නේ කොහොමද? කියලා සංකල්ප හරහා උගන්වනවා. නමුත්, මේක අපේ රටේ උගන්වන්නේ නෑ. ඒ නිසා අපේ රටේ පරපුර තමන්ගේ ආත්ම අභිමානය හඳුනා නොගත් අය විදිහට ගොඩනැඟෙනවා. ලොකු වුණාම ටීචර් කෙනෙක්, රජයේ සේවකයෙක්, දොස්තර කෙනෙක් වීම පමණක් අරමුණු කරගන්නේ ඒ නිසයි. ඒ වගේම මටම බලපාපු තවත් කාරණාවක් තිබුණා. දවසක් මගේ ශිෂ්‍යාවක් ඇවිත් මට කිවුවා, ‘අපි මිස් ගැන පොඩි සුවනියර් එකක් කරමු නේද ?’ කියලා. මම ඒකට එකඟ වුණේ නෑ. නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ මම හිමින් සැරේ, තවත් අය සමඟ මාව සංසන්දනය කළා. මම මාවම හෙව්වා. එතකොට මට බොහෝ අය හමුවුණා. ඒ.ටී. ආරියරත්න කියන කෙනා ශ්‍රී ලංකාභිමානී සම්මාන ගත් කෙනෙක්. ඒවගේම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සාහිත්‍ය වෙනුවෙන් සියලු සම්මාන ලැබූ කෙනෙක්. ඒ වගේම රවී ලියනගේ මහතා ලෝකේ ඉහළටම ගිය අයෙක්. මෙයාල දිහා බලනකොට මම කුඩා චරිතයක් පමණයි. ඒ නිසා මම හිතුවා, මාව පැත්තකින් තියලා ඒ වගේ චරිත ටිකක් හොයලා ඊළඟ පරපුරට හඳුන්වා දෙන්න. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ග්‍රන්ථය.

ඔබ හඳුන්වා දෙන රටට ණය නැති මිනිස්සු කවුද ?

ආචාර්ය රවී ලියනගේ, රාජ් සෝමදේව, මහාචාර්ය සුනිල් ආරියරත්න, පාලිත නානායක්කාර, කලන පල්ලියගුරු සහ රොමේෂ් කළුවිතාරණ කියන මේ චරිත හය තමයි මම හඳුන්වලා දෙන්නේ.

ඔබ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය විදිහට මේ අය තෝරගන්නේ ඇයි ?

මේ ආකාරයට විවිධ ක්‍ෂේත්‍ර ගත්තේ ඒ ඒ පුද්ගලයන් ඉදිරියට ආවේ දක්ෂතා පෙන්නුවේ, ඒ ඒ ක්ෂේත්‍ර නිසයි. ඒ අය කියනවා අපි ඉදිරියට ආවේ මෙහෙමයි. මේ කරුණු නිසයි කියලා. ඒ වගේම අපේ රට ලෝකෙට අරගෙන ගියේ මෙහෙමයි කියලා. එයාලා පැහැදිලි කරලා අවසානයේ අවවාදයකුත් දෙනවා. ක්‍රීඩා ක්ෂේත්‍රය කරන හොයන අයෙකුට රොමේෂ් කළුවිතාරණ චරිතය අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට මහාචාර්ය සුනිල් ආරියරත්න සර් ගත්තාම එයාගේ අධ්‍යයන ක්ෂේත්‍රය, නිර්මාණ ක්ෂේත්‍රය, ලේඛන ක්ෂේත්‍රය යනාදී ආකාරයට විශාල පැතිකඩ ගණනාවක් තියෙනවා. ඒ වගේම ආචාර්ය රවී ලියනගේ මහත්මයා කියන්නේ මා දුටු උත්තම ගණයේ පරිපූර්ණ අයෙක්. එයාගේ phd එක කරලා තියෙන්නේ විදෙස් රටක. කොතරම් ඉදිරියට ආවත්, ඔහු තුළ පවතින නිහතමානීකම, කරුණාවන්තකම, ගුණකරුකභාවය, වගේම මානුෂීය ගුණාංගවලින් පිරුණු කිසිම කෙනෙක් මට මීට පෙර හමුවෙලා නෑ.

මේ ආකාරයට අපි අතරේම සිටින පරමාදර්ශ චරිත ගැන ලියැවී නැතිකම අඩුවක් නේද?

අපි නෙල්සන් මැන්ඩෙලා ගැන කතා කරනවා. ට්‍රම්ප් ගැන කතා කරනවා. ඒ වුණාට අපේ ඒ. ටී ආරියරත්න ගැන කතා කරන්න කැමති නෑ. මේක තනිකරම කුහකකමක්. ට්‍රම්ප් එක්ක ගනුදෙනු කරන කෙනෙක් ගැන කතා කළත්, අපේ ආචාර්ය රවී ලියනගේ ගැන කතා කරන්නේ නෑ. අපේ අය අගය කරන්න දක්වන මැළිකම කියන්නේ ජාතියේම තියෙන කුහකකමක් විදිහටයි මම නම් දකින්නේ. ඒක ජානවලම තියෙන දෙයක්. ඒ නිසයි අපේ මිනිස්සු මතුවෙන්නේ නැත්තේ. බැරිවෙලාවත් මතුවුණු ගමන්, අනිත් පැත්තෙන් ගහන්නයි බලන්නේ. මොනවා හරි කරන්න ගත්තොත් කොහෙන් හරි කුණු ගොඩක් හොයලා අදිනවා. මේක කොයි ක්ෂේත්‍රයේත් තියෙන දෙයක්. විශ්වවිද්‍යාල, පාසල් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය, ක්‍රීඩාව මේවා ඔඩු දුවලයි තියෙන්නේ. මේ ජාතියේ අවාසනාවට තියෙන කුහකත්වය නිසා එක මිනිහෙකුටවත් ගොඩට එන්න ලැබෙන්නේ නෑ.

ලෝකයේ ලියවී ඇති වෙනත් චරිතාපදාන සහ අපේ රටේ ලියවී ඇති චරිතාපදාන ගැන ඔබට කුමක් කිව හැකිද?

ශ්‍රී ලංකාවේ චරිත කතා ලියවිලා තියෙනවා. ඒත්, හරිම අතළොස්සයි. ඒ වාගේත් සමහර ඒවා ලියවිලා තියෙන්නේ පෞද්ගලික හිත මිත්‍රකම් නිසයි. ඒත්, කමක් නෑ කොහොම හරි ලියලා තියෙනවානේ.

ඔබේ ග්‍රන්ථය වෙනුවෙන් තෝරා ගත් චරිත සමීපව ඇසුරු කරන විට ඔබට හැඟී ගියේ කුමක්ද ?

ඇත්තෙන්ම මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලිකව දැනුණු දෙයක්. මට නොදන්නා කෙනෙක් ගැන ලියන්න බෑ. පෞද්ගලික බැඳීමක්, අත්දැකීමක් තිබිය යුතුයි. මම ඇයි මේ චරිතය තෝරා ගත්තේ කියන හැඟීමක් මට දැනෙන්න ඕනෑ. ඒ වගේම මම තෝරා ගත් චරිත පොදු සමාජයත් එක්ක ගනුදෙනු කළ ආකාරය මම හොඳින් සොයා බැලුවා. මෙහිදී මම හඳුනාගත් දෙයක් තමයි, මේ අය ඉතාමත් ඉහළ සමාජ ගනුදෙනුවක නිරත වෙලා තියෙන බව. විශේෂයෙන්ම මම මගේ තෝරාගැනීම කළෙත් ඒ නිසාමයි. හැබැයි කෙනෙක් මගෙන් කාන්තාවෝ නැද්ද කියලා අහන්න පුළුවන්. රොමේෂ් කළුවිතාරණගේ බිරිය මට හමුවුණා. මම ඇයව දැක්කේ පුංචි තිරේසා මවුතුමියක් විදිහටයි. එයා නිශ්ශබ්දව එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේ පෞද්ගලික අත්දැකීමක් තිබුණු අයයි මම ගත්තේ. මේ වගේ සැඟවිලා සිටින කාන්තා චරිත ගොඩක් අපේ සමාජයේ තියෙනවා. නමුත් එයාලගේ සමාජ සම්බන්ධතාව ඉතාම අඩුයි. එයාලා ලෝකයට ගියාට, ලංකා සමාජය තුළ නෑ. උදාහරණයක් විදිහට ඔටාරා කිවුවම ඔඩෙල් කියලා දැන ගත්තාට එයාගේ සමාජ සේවාව ගැන බොහෝ අය දන්නේ නෑ. මානව සම්බන්ධතා තිබිය යුතුයි. ඒ වගේම කාන්තා චරිතවලට එතරම් දුර යන්න බෑ. හේතුව විදිහට කාන්තාභාවයයි. ඒ නිසාම ස්වාභාවිකවම සීමා ඇතිවෙනවා.

මට මේ ග්‍රන්ථය නිමා කරන්න වසර පහක් ගියා. නිවැරදිභාවය අකුරටම තියෙන්න ඕන නිසා, මා ලියූ ඒවා නැවත නැවත පුණරීක්ෂණවලට යොමු කළා.

අපේ රටේ අන්තර්ජාතික සම්මාන ලැබූ, නිර්මාණශීලි, නවෝත්පාදන බිහි කළ චරිත ඕනෑ තරම් තියෙනවා. මේ චරිත ගැන පාසල් විෂය ක්ෂේත්‍රයට ඇතුළත් කළ හැකියි. වෙනත් රටවල ජාතික හැඟීම වෙනුවෙන් තමන්ගේ රටේ චරිත උඩට ඉස්මතු කරලා දරුවන්ට උගන්වනවා. අපේ රටේ එහෙම දේවල් නෑ.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT