Home » ආණ්ඩුවේ හොඳ දේට පක්ෂ වෙනවා වැරැද්දට විරුද්ධ වෙනවා
විකල්ප මතය

ආණ්ඩුවේ හොඳ දේට පක්ෂ වෙනවා වැරැද්දට විරුද්ධ වෙනවා

-ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ

by sachintha
April 24, 2025 2:00 am 0 comment

ආසියාව පෙරට එන අලුත් ආර්ථික දේශපාලන ක්‍රමය අප අනුගමනය කරනවා

අපට සෑම ආයතනයකම යම් නියෝජනයක් ලැබෙයි කියලා විශ්වාසයි

ලබන ජයග්‍රහණයේ ප්‍රමාණය නිශ්චිතව කියන්න මට බැහැ

පළාත් පාලන ඡන්දයට තරග කරන්නේ පක්ෂයේ බිම් මට්ටම සක්‍රිය කිරීමටයි

මෙරට පැරණිම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දක්වන විග්‍රහය කුමක්ද? ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොමියුනිස්ට් පක්ෂය මෙවර තනිව තරග කිරීමේ අරමුණ කුමක්ද? කලක් සන්ධානවාදීව සිටි කොමියුනිස්ට් පක්ෂය එම සන්ධාන අරමුණින් බැහැරව කටයුතු කරන්නේ ඇයි ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

කලක් විශාල ඡන්ද පදනමක් තිබූ කොමියුනිස්ට් පක්ෂය වර්තමානයේදී සිටින්නේ යම් අසීරු අඩියකයි. ඒ තත්ත්වය තුළ කොමියුනිස්ට් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කිරීමට තීරණය කළේ ඇයි?

අපි දිගටම සන්ධානගතව තරග කළ බව සඳහන් කිරීම නිවැරැදි නැහැ. අප පසුගිය පළාත් පාලන මැතිවරණවලදීත් අවස්ථානුකූලව තනිව තරග කළ අවස්ථා තිබෙනවා. අප පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද තනිව තරග කර නියෝජනයන් දිනාගත් ආයතන රාශියක් තිබුණා. හැටන් දික්ඔය නගර සභාව, වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාව, බදුල්ල, හාලිඇළ ආදී අයතනවලට තරග කළා. ඒ නිසා අපි සන්ධානගතව තරග කරන බව ප්‍රකාශ කිරීම වැරැදියි.

මෙවර අප පළාත් පාලන ආයතන රාශියකට කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණෙන් නාමයෝජනා භාර දුන්නා. එයින් නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වුණා. ඒ තත්ත්වය තුළ අපි තවත් ආයතන ගණනාවකට තරග කරනු ලබනවා. ඇත්තෙන්ම පළාත් පාලන මැතිවරණයක් කියන්නේ ජාතික මට්ටමේ වැදගත් කමින් අඩු ප්‍රාදේශීය වශයෙන් වැදගත්කමක් ඇති මැතිවරණයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

දේශපාලන පක්ෂයක් විදිහට පක්ෂයක මූලික කරුණක් වන්නේ බිම්මට්ටමේ යන්ත්‍රණය ශක්තිමත් කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කර තිබෙන්නේ. අද වන විට අපි කොමියුනිස්ට් පක්ෂය විදිහටත් තවත් ස්ථානවල අපගේ මිත්‍ර පාර්ශ්ව සමඟ එක්වත් කටයුතු කරනවා.

අනෙක් පසින් ප්‍රාදේශීය වැදගත්කමක් ඇති කරුණු, හිතවත්කම් මත ඡන්ද යම් ප්‍රමාණයක් තීරණය වෙනවා. ඒ ආකාරයේ මැතිවරණ ක්‍රමවේදයකුයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ තිබෙන්නේ. ඇත්තෙන්ම දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ දේශපාලන පක්ෂ ගොඩනඟා ගැනීමට වැදගත් වන මැතිවරණයක් විදිහට මේ මැතිවරණය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසයි අපි පක්ෂයක් විදිහට උපරිම පළාත් පාලන ආයතන ප්‍රමාණයකට තරග කිරීමට තීරණය කළේ. ඒ වගේම අපේ නියෝජිතයන් ස්වාධීන කණ්ඩායම් විදිහටත් තරග කරනු ලබනවා. මධ්‍ය කාලීනව සහ දීර්ඝ කාලීන අරමුණු ඇතිවයි කටයුතු කරන්නේ.

ඔබ පක්ෂය තරග කරනු ලබන ආයතනවල ජයග්‍රහණය කොයි විදිහට තීරණය වෙයිද ?

ඇත්තෙන්ම අප විශ්වාස කරනු ලබනවා පක්ෂයක් විදිහට අප තරග කරනු ලබන සෑම ආයතනයකම අපට යම් නියෝජනයක් ලැබෙයි කියලා. ඒ වගේම මිත්‍ර බලවේග සමඟ තරග කරන තැන්වලත් අපට යම් ජයග්‍රහණ ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. මට ලබන ජයග්‍රහණයේ ප්‍රමාණය නිශ්චිතව කියන්න බැහැ. ඒත්, අපගේ පක්ෂයට සතුටු වෙන්න පුළුවන් නියෝජනයක් ලැබෙනවා.

කොමියුනිස්ට් පක්ෂය කීර්තිමත් අතීතයක් තිබූ සහ පාර්ලිමේන්තුව තුළ කලක් සැලකිය යුතු නියෝජනයක් තිබූ දේශපාලන පක්ෂයක්, ඒත් පසු කාලීනව ඔබ පක්ෂය යම් කඩා වැටීමකට ලක් වුණා. දැන් එජාපය, ශ්‍රීලනිපය, පොහොට්ටුව වැනි ප්‍රධාන දේශපාලන පක්ෂ බිඳ වැටීම තුළ කොමියුනිස්ට් පක්ෂයට නව අවස්ථාවක් උදා කර ගැනීමට සැලසුමක් නැද්ද?

අප දේශපාලන පක්ෂයක් විදිහට කීර්තියක් සහිතව වැඩ කළ දේශපාලන පක්ෂයක්. අද ජනතාව තුළ මතයක් තිබෙනවා සාම්ප්‍රදායික දේශපාලනඥයන් යනු වංචනිකයන්, දූෂිතයන් කියලා. ඒත්, අපේ දේශපාලන ව්‍යාපාරයට අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද එහෙම චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. අපේ නායකයන් මුදල් ජනතාව වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරීම් කළ නායකයෝ. අපේ ආරම්භක නායක දොස්තර එස්. ඒ වික්‍රමසිංහ සහෝදරයා. ඔහු පක්ෂ මූලස්ථානය පිහිටි ඉඩම පවා පරිත්‍යාග කළා. ඒ වගේ කීර්තිමත් නායකයන් තමයි එදා සිටියේ, අපේ පක්ෂයේ පමණක් නොවෙයි එදා සමගාමීව ක්‍රියාත්මක වූ සෙසු පක්ෂවල නායකයන් පවා අවංකවයි වැඩ කළේ. අපි අදත් අවංකව කැපවීමෙන් යුතුව දේශපාලනය කරනු ලබන පිරිසක්. අපි පක්ෂය තුළ අද ජනතාවගේ අප්‍රසාදයට ලක්වන කිසිදු වැරැදි චර්යාවක නියැළෙන්නේ නැහැ.

අපි එදා මෙන් අදත් නිර්මල පිවිතුරු දේශපාලන ව්‍යාපාරයක් විදිහටයි කටයුතු කරන්නේ. ඒ නිසා අප විශ්වාස කරනවා ඇතිව තිබෙන නව දේශපාලන වාතාවරණය තුළ ඉදිරියට ශක්තිමත් වීමට හොඳ ඉඩක් තිබෙනවා. අප ඉතිහාසයේ කවදාවත් අපරාධකාරී ක්‍රියාවලට හෝ හොරකම්වලට සම්බන්ධ වෙලා නැහැ. අපට කවදාවත්ම ආණ්ඩු බලයක් නොලැබුණත් අප සැලකිය යුතු කාර්ය ප්‍රමණයක් මෙරට ජනතාව වෙනුවෙන් ඉටු කර තිබෙනවා.

ඔබ දේශපාලන පක්ෂයේ ගමන් මඟට අන්තර් ජාතික දේශපාලන තත්ත්වය බලපානු ලබන්නේ කොහොමද ?

ලෝකය තුළ විශාල දේශපාලන සහ ආර්ථික වෙනසක් සිදු වෙමින් තිබෙනවා. මේ වෙනස කියන්නේ අවුරුදු පන්සියයකට පසු ලෝක ආර්ථික සහ දේශපාලන බලය ආසියාව වෙත හුවමාරු වෙමින් තිබෙනවා. දැන් චීනය ආර්ථික වශයෙන් විශාල ලෙස ඉදිරියට එමින් තිබෙනවා. චීනයේ නැඟීම ආර්ථික තාක්ෂණ පැත්තෙන් ලොකු වෙනසක් වීම සමඟ එයට සමගාමීව ලෝකයේ ලොකු වෙනසක් වෙනවා. බ්‍රික් වැනි සංවිධාන ජී 7 වැනි සංවිධාන ඉක්මවමින් තිබෙනවා. මේ සියල්ල සමඟ ලෝක දේශපාලනයේ ලොකු වෙනසක් වෙත යොමු වෙමින් තිබෙනවා. මේ වන විට අධිරාජ්‍ය විරෝධි වෙනස් දේශපාලන ගමනකට ලෝක දේශපාලනය පෙළ ගැසෙමින් තිබෙනවා. හැත්තෑව දශකයේ සිට ලෝක ආධිපත්‍ය දැරූ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය බිඳ වැටෙමින් තිබෙනවා.

මේක තමයි ජාත්‍යන්තර තත්ත්වය. මේ තත්ත්වය තුළ අප එදා සිටම අධිරාජ්‍ය විරෝධී ගමනක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන පක්ෂයක් විදිහටයි කටයුතු කළේ. පසුගිය මැතිවරණවලදී යම් පසුබෑමකට ලක් වුණද අපට දේශපාලන පක්ෂයක් විදිහට ඓතිහාසිකව රැස් කර ගත් යම් විභවයක් තිබෙනවා. දැන් කොමියුනිස්ට් පක්ෂයට නැවත සාර්ථක ගමනක් යාමට අවශ්‍ය කරනු ලබන දේශීය සහ ජාත්‍යන්තර පසුබිම දැන් සකස් වෙමින් තිබෙන්නේ. රට පුරාම දේශපාලන වශයෙන් සක්‍රිය ජන කණ්ඩායම්වල අවධානය අපි වෙත යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෑත කාලීනව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ සන්ධානගත වුණා. පසුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ සන්ධානගතව අවරුදු දහයක් එකට දේශපාලනය කළා. ඒත්, ඒ දිනවල ඒ පිළිබඳව සමාජ කතා බහක් ඇති වුණේ නැහැ. එහෙත් මෑත කාලීනව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර වැනි සිංහල ජාතිවාදය උත්කර්ශයට නඟන කණ්ඩායම් සමඟ කටයුතු කිරීම පිළිබඳව කොමියුනිස්ට් පක්ෂයට චෝදනා එල්ල වෙනවා ?

අපි දේශපාලනය කළේ රටේ දේශපාලන තත්ත්වය අනුගමනය කරමින්. ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අධ්‍යයනය කරමින්. 1994 වර්ෂයේදී අවුරුදු 17ක එජාප පාලනය බිඳ දැමීම සඳහා අපි චන්ද්‍රිකා මහත්මිය සමඟ සන්ධානගතව කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා සමඟත් අපි සන්ධානගතව දේශපාලන ගමනක් ගියා. 2919දී අප ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා සන්ධානගතව වැඩ කළා. අපි පමණක් නොවෙයි සමසමාජ ඇතුළු සෙසු මිත්‍ර පක්ෂද අපි සමඟ සිටියා. ඒත්, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පළමුවන විනාඩියේ සිටම ඔවුන් අපි වෙත නිසි විදිහට සැලකුවේ නැහැ. අපගේ සහ ඔහුගේ ප්‍රතිපත්ති පරස්පරතා රාශියක් පැමිණියා. ඒ තත්ත්වය තුළ තමයි එම සන්ධානය සමඟ පරස්පරතා ඇති වුණේ. එහිදී අපි උත්සාහ කළා සාකච්ඡා කර ගැටලු විසඳා ගන්න. ඒත්, ඒ උත්සාහය අසාර්ථක වුණා. ඉන්පසු විකල්පය වුණේ අපේ සිටි එකම මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමයි. එහෙත්, අවසානයේදී අපි සහ අපේ මිත්‍ර පක්ෂ එකතුව විශාල සමුළුවක් පැවැත්වූවා. මෙම සමුළුව පැවැත්වූ පසු එම කණ්ඩායම තුළ සිටි ඇමැතිවරු ආණ්ඩුවෙන් නෙරපා හැරියා. ඒ සමඟ අපි අණ්ඩුවෙන් ඉවත් වුණා. එහිදී විමල්, උදය, සමසමාජ ඇතුළු පක්ෂ ගණනාවක් ඒ කණ්ඩායම තුළ සිටියා. අපට එතැනදී ඔවුන් අතැර කටයුතු කරන්න බැරි වුණා. ජනාධිපතිවරණයේදී අපට රනිල් හෝ සජිත් සමඟ කටයුතු කරන්න බැහැ. මාලිමාව සමඟ යම් කතාබහක් ඇති කර ගැනීමට උත්සාහ කළත් එයද ආසර්ථක වුණා. ඒ තත්ත්වය තුළ අප තීරණය කළා මේ පක්ෂ සන්ධානය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට, දිලිත් ජයවීර මහතා තරුව ලකුණෙන් ඉදිරිපත් වෙන්නේ එනිසයි. අපි ඒ ඒ අවස්ථාවල ගත යුතු සුදුසුම පියවර තමයි ගත්තේ. එහිදී අප සලකා බැලුවේ දේශපාලනය තුළ අපි ඒ අවස්ථාවේදී ගන්න ඕනෑ ක්‍රියාමාර්ගය කුමක්ද කියලයි.

දැන් රටේ බලය දරන ජාතික ජන බලවේග ආණ්ඩුවද කොමියුනිස්ට් පක්ෂය මෙන්ම වාමාංශික උරුමයක් සහිත දේශපාලන පක්ෂයක්. මාස හයක් තුළ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

අපි නව රජය සමඟ එදිරිව කටයුතු කරන්නේ නැහැ. අවශ්‍ය තැන්වලදී සහාය ලබා දීමටත් සූදානම්. ආණ්ඩුව පෙරළා දැමීමට අපට අවශ්‍යතාවක් නැහැ. අප හැමදේටම විරුද්ධව කතා කරන වැඩ කරන දේශපාලනයක් කරන්නේ නැහැ. අප සංවර්ධනාත්මකව ආණ්ඩුව දෙස බලන්නත් වැරැද්දක් වෙනවා නම්, ඒ ගැන සාධනීය විවේචනයක් කරන්නට පසුබට වෙන්නේ නැහැ.

ආණ්ඩුව ආර්ථික අර්බුදය ගැන පෙර දැරූ මතය සහ ගත යුතු විසඳුම් ක්‍රියාමාර්ග පිළිබඳව දැරූ අදහස් ආණ්ඩුව බලයට පැමිණි විට වෙනස් වෙලා තිබෙනවා. අද ආණ්ඩුව කියන්නේ අයි. එම්. එෆ් මාර්ගය හැර වෙනත් මාර්ගයක් නැහැ කියලා. ඒත්, මේ මාර්ගය අර්බුදයට ස්ථිර විසඳුමක් නොවෙයි. අපි දේශීය නිෂ්පාදන ශක්තිමත් කරනු ලබන මාර්ගයකට යන්න ඕනෑ. ඒත්, ඒ පිළිබඳව ආණ්ඩුව දක්වන උනන්දුවේ අඩුවක් තිබෙනවා. ඒ වගේම ඔවුනට සැලසුමක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

තවද ඉන්දියාව සමඟ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම නිසා අපේ රටේ තිබුණ නොබැඳි පිළිවෙතට හානියක් වෙනවා.

ඒ නිසා අපේ රට දියුණු කළ යුතු නම් ජාතිවාදය ආගම්වාදය පිටුදකින ක්‍රමයක් රටතුළ ඇතිවිය යුතුයි. අපගේ පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය මෙයයි.

උදිත ගුණවර්ධන

ඡායාරූපය-රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT