Wednesday, April 23, 2025
Home » දළදා වන්දනාවට එන බැතිමතුන්ගේ පහසුකම් ගැන ප්‍රගතිය බලන්න ආරක්ෂක ලේකම් මහනුවරට

දළදා වන්දනාවට එන බැතිමතුන්ගේ පහසුකම් ගැන ප්‍රගතිය බලන්න ආරක්ෂක ලේකම් මහනුවරට

by yasara
April 23, 2025 1:00 pm 0 comment

දළදා ප්‍රදර්ශනයට සමගාමීව බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් ලබාදෙන මූලික පහසුකම් හා ආරක්‍ෂක වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයාගෙන් උපදෙස් ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනයට සමගාමීව ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම හා සම්බන්ධ වත්මන් ප්‍රගතිය පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ සහ අද දින (අප්‍රේල් 22 සහ 23 ) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් අනුව, මෙම විශේෂ දළදා වහන්සේගේ ප්‍රදර්ශනය පසුගිය අප්‍රේල් 18 වන දින ආරම්භ විය.

එළබෙන 27 දින දක්වා දිනපතා පෙරවරු 11:00 සිට පස්වරු 05:30 දක්වා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ මහජන ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට දිනපතා මහනුවර වෙත ලඟා වෙමින් සිටී.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් බැතිමතුන් හට අවශ්‍ය කෙරෙන ආහාරපාන, ප්‍රථමාධාර හා සනීපාරක්‍ෂක පහසුකම් ඇතුළු මූලික පහසුකම් ලබාදීම මෙන්ම, ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් මේවන විටත් පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම හා ආරක්‍ෂක වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලීමේ අරමුණින් අද දින එහි ගිය ආරක්‍ෂක ලේකම්වරයා, දැනට ක්‍රියාත්මක වැඩසටහන්හී වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලූ අතර, දිවා රෑ නොබලා වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ මෙන්ම, සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් ඇගැයීමට ලක් කරන ලදි.

මෙහිදී ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගනිමින් අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් අදාළ කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අමතා ඔවුන් හට උපදෙස් ලබා දුන්නේය.

වසර ගනනාවකට පසූ උදා වූ මෙම මහගු අවස්ථාවේ සැදැහැවත් බෞද්ධ ජනතාව ඉතා විශාල ප්‍රමානයක් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණීම නිසා ඉතා දිගු පෝලිම් මේවන විටත් ඇතිවී ඇති අතර, ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීමට දිගු පෝලිම්වල තත්වය විමසා බලා පැමිණෙන ලෙස මහජනතාවගෙන් ආරක්‍ෂක ලේකම්වරයා ඉල්ලා සිටි අතර, නන් දෙසින් පැමිණෙන මෙම ජනතාව වෙනුවෙන් දානපතියන් විසින් ලබාදෙනු ලබන එම සත්කාර හා සේවා මහත් සේ අගය කර සිටින ලදි.

තවද, වසර 16 කට පසු ලෝකවාසී බෞද්ධ ජනතාවට උදා වූ මෙම දුර්ලභ අධ්‍යාත්මික අවස්ථාවට සහභාගි වන බැතිමතුන් වෙත බාධාවකින් තොරව දළදාවහන්සේ වැඳ පුදා ගැනීමට අවශ්‍ය ආරක්‍ෂාව සහ පහසුකම් සැලසීම අදාළ බලධාරීන් වන අප සැමගේ සාමූහික වගකීම බව ද, ආරක්‍ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වර‍යා සමඟ ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති, 11 වන සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT