ජාතික ඔලිම්පික් කමිටුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ නිල බැංකු ගිණුම් අත්හිටුවීමට රජයේ මුල් පෙළේ බැංකුවක් ඊයේ සිට තීරණය කර ඇත. දශකයකටත් අධික කාලයක් ක්‍රියාත්මක වූ මේ නිල බැංකු ගිණුම අත්හිටුවා ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට එරෙහිව එම බැංකුව සමඟ මුදල් ගනුදෙනු කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.
මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්, භාණ්ඩාගාරික හා නියෝජ්‍ය භාණ්ඩාගාරික නොමැති අතරේ සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා විසින් ගිණුම් කටයුතුවලදී චෙක්පත් අත්සන් කිරීමේ බලය වෙනත් පුද්ගලයෙකුට පැවැරීම නීති විරෝධී බැවින් මේ තත්ත්වය උද්ගතවී ඇතැයි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ උප සභාපති කපිල ජීවන්ත මහතා පෙන්වා දුන්නේය.
ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව අනුව ගිණුම් කටයුතු වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් වෙනම සකසා තිබියදී එම ව්‍යවස්ථාව සභභාපතිවරයා විසින් උල්ලංඝනය කර ඇතැයි ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම උදෙසා මේ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, එයට ක්‍රීඩා සංගම් 27ක ප්‍රධානීන් එක්ව සිටියහ.
පසුගියදා පැවති අති විශේෂ මහා සභා රැස්වීම නිසි පරිදි පවත්වා ගැනීමට සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා අපොහොසත්වීමත්, ඔහු කෙරෙහි සාමාජික සංගම්වල විශ්වාසය බිඳීයෑමත් හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සහ නිලධාරී මණ්ඩලය වහාම ඉවත්කර ව්‍යාවස්ථාවට අනුව නව නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරු මේ මාධ්‍ය හමුවේදී පැවසුහ.
“වරදක් කර ඇත්නම් කවුරු වුණත් නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. දැන් ඉන්න සභාපතිට බහුතර බලයක් නෑ. ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අති විශේෂ මහා සභා රැස්වීම මෙයට දින හතරකට පෙර ඔලිම්පික් නිවහනේදී පැවැත්වෙද්දී ඔහුට ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් නැති බව වැටහුණා. ගණ පූර්ණයක් නෑ. සාමාජිකයන් ඔහුට අකමැතියි. ඒ නිසා නව නිලධාරී මණ්ඩලයක් අවශ්‍යයි” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.
සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා යටතේ ඔලිම්පික් කමිටුවේ අඛණ්ඩතාව, පාලනය සහ නායකත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවූ බවත් ඔහු සතුව නිපුණතාවය සහ නායකත්වය නොමැති බවත් ශ්‍රී ලංකා බාස්කට්බෝල් සම්මේලනයේ ලේකම් චන්දන ලියනගේ මහතා පෙන්වාදුන් අතර, සභාපති සුබ්‍රමනියම් මහතා ඒකපාර්ශ්විකව කටයුතු කරමින් ඔහුගේ බලය ඒකාධිපති ප්‍රවේශයකට ගෙන ඇතැයි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සබාපති ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසීය.
මේ තත්ත්වය මත ඉදිරියේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුවත් කොට අවශ්‍ය සහයෝගය ලබා ගන්නා බවද ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් පිරිස පෙන්වා දුන්හ.