රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E – ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහන ඉකුත්දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් හා අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඉකුත් 2021 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට බදුල්ල දිස්ත්‍රික්කයේ උපන් දරුවන්ට දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මෙම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමේ පහසුකම ලබා දීමට කටයුතු කෙරෙන අතර ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට නියමිතය. මෙම සමාරම්භක වැඩසටහනේදී බදුල්ල දිස්ත්‍රික්කයේ දරු දැරියන් 56ක් වෙත ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය ප්‍රදානය කරන ලද අතර මෙම සහතිකයේ ප්‍රථම පිටපත නොමිලේ නිකුත් කරනු ලබයි.
මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සාම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයක් වන අතර මකා වෙනස් කළ නොහැකි ලෙස තොරතුරු දත්ත පද්ධතියේ ගබඩාවීම මඟින් ව්‍යාජ ලේඛන සකස් කිරීම අවම වේ. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ යන භාෂා මඟින් මෙම උප්පැන්න සහතිකය ලබා ගැනීමට හැකිවීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවීමද උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු අදාළ දත්ත පද්ධතියේ යාවත්කාලීන වීමද මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය විශේෂයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය වැනි රජයේ අනෙකුත් ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි ලෙස යාවත්කාලීන කර තිබීමද විශේෂත්වයකි.
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා බදුල්ල දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩසටහන සංවිධාන කොට තිබූ අතර මෙම අවස්ථාවට බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිලන්ති සමරවික්‍රම, බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා නානායක්කාර, ඌව – සබරගමුව නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නිශ්ශංක විජේසිරි, බදුල්ල දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් නිල්මිණි යූ. නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළුව බදුල්ල දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් රේජිස්ට්‍රාර්වරුන්, බදුල්ල පරිපාලන ග්‍රාම නිලධාරිවරයා, බදුල්ල දිස්ත්‍රික්කයේ උපත්, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
හාලිඇළ සමූහ
ආර්.එම්. විජේරත්න