Wednesday, April 23, 2025
Home » මාදුරුඔය-සෝමාවතිය වනෝද්‍යානවලින් ගම්වදින වනඅලි මහවැලි ගොවීන්ට තර්ජනයක්

මාදුරුඔය-සෝමාවතිය වනෝද්‍යානවලින් ගම්වදින වනඅලි මහවැලි ගොවීන්ට තර්ජනයක්

-බවබෝග හා නිවාසත් වනසලා | අනවසර වගා - ගවගාල් අලි ගම්වැදීමට හේතුවෙලා

by sachintha
April 23, 2025 2:19 am 0 comment

මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානවලින් මේ දිනවල රාත්‍රී කාලයේදී ගම්වලට කඩාවදින වනඅලි රංචු නිසා තමන් දැඩි දුෂ්කරතාවට සහ අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව මහවැලි බී කලාපයේ ගම්මාන රැසක ගොවීහු සඳහන් කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ, එලෙස කඩාපනින වනඅලි රංචු ගෙවතුවල වගා කර තිබෙන කෙසෙල්, පොල්, ඇතුළු අනෙකුත් භෝග වගාවන්ට හානි කි‍රීමෙන් පසු නිවාස බිඳ, වී මලු පවා රැගෙන යෑමට පුරුදු වී සිටින බවයි. මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් කඩාවැදුණු එකසිය පනහකින් යුත් වනඅලි රංචුවක් මේ දිනවල රුවන්පිටිය, අසේලපුර හා මැණික්දෙණිය ප්‍රදේශයේ කුඩා රක්ෂිතවල සවස් කාලයේ සැඟව සිටිමින් රාත්‍රී කාලයේදී බවබෝග රැසකට හානිකර ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් සිංහපුර, දිඹුලාන, පැරකුම්යාය, අසේලපුර, රුවන්පිටිය, මැණික්දෙණිය, කාලිංගවිල, නාමල්ගම, ඇතුළු අවට ගම්මානවලට දැඩි හානි සිදුව තිබේ. මීට අමතරව මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් කඩාවදින වන අලි රංචු අරුණපුර, දිවුල්දමන, නිදන්වල, දම්මින්න, යක්කුරේ, පහළ යක්කුරේ ඇතුළු ගම්මානවලට කඩාපැන වගාවන්ට දැඩි ලෙස හානි කරන බවද එම ප්‍රදේශවල ගොවි පවුල් සඳහන් කරති.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ, මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ගවගාල් ඇති කිරීම සහ ගවයන් සැරිසැරීමත්, මහවැලි බී කලාපයේ අලි ගමන් කරන මාර්ග අවහිර කරමින් විදුලි වැට ඉදිකර තිබීමත් වනඅලි ගම් වැදීමට විශේෂයෙන් බලපා තිබෙන බවයි.

දිස්ත්‍රික්කයට බලපා තිබෙන වනඅලි තර්ජන පිළිබඳ අප නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී වනඅලි ගමන් කරන මාර්ගයන් අවහිර කරමින් ඉදිකර ඇති විදුලි වැට, අනවසර වගා බිම් මෙන්ම අනෙකුත් ඉදිකිරීම් ඉවත් කර අලිමංකඩ හතරක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන් කළේය.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT