Wednesday, April 23, 2025
Home » යුක්තිය ඉටු නොවූ සියලු දෙනාට සාධාරණය ඉෂ්ට කරන්න රජය ක්‍රියා කළ යුතුයි

යුක්තිය ඉටු නොවූ සියලු දෙනාට සාධාරණය ඉෂ්ට කරන්න රජය ක්‍රියා කළ යුතුයි

මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම්

by sachintha
April 23, 2025 1:44 am 0 comment

පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන්ට පමණක් නොව මේ රටේ යුක්තිය ඉෂ්ට නොවූ සියලු දෙනාට යුක්තිය ඉටු කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ තමාට එරෙහිව හිටපු නියෝජ්‍ය ඇමැති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් ගල්කිස්ස අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඊයේ (22) කැඳවා තිබු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“ගල්කිස්ස අධිකරණයේ මට විරුද්ධව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඔහුගේ කීර්තිනාමයට අපහාස වෙනවා කියලා නඩුවක් ගොනු කර තියෙනවා. 2023 අප්‍රේල් මාසයේ විසි එක් වැනිදා පාස්කු දා ප්‍රහාරය සිදුවී අවුරුදු හතරක් ගතවීම සම්බන්ධව අපි මඩකලපුවේදී රැස්වීමක් ලෑස්ති කළා. ඒ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනෙ කියලා. ඒ අවස්ථාවේදී අසාද් මවුලානා නමැති පුද්ගලයාගේ ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියලා තිබුණා කියලා මාධ්‍යයේ වාර්තා වෙලා තිබුණා. අසාද් මවුලානාගේ ප්‍රකාශයේ පාස්කු දා ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධයි කියලා චෝදනා එල්ල වෙලා තිබුණා. ඒ අනුව මම ප්‍රකාශයක් සිද්ධ කළා පිල්ලෙයාන් පරීක්ෂා කරන්න කියලා. නැත්නම් එයාගෙන් ප්‍රශ්න කරන්න කියලා. ඒ මිනී මැරුම්වලට එයා සම්බන්ධයි කියලා අසාද් මවුලානා කියලා තියෙනවා. ඒක එයාගේ කීර්තිනාමයට අපහාස වෙනවා කියලා තමයි මේ නඩුව දාලා තියෙන්නේ. ඒ නඩුව අද දෙවන වරට කැඳවා තිබුණා. පහුගිය නඩු වාරයේ පිල්ලෙයාන් නඩුවට පැමිණියේ නෑ. ඒ නොපැමිණීම නිසා ගරු අධිකරණය පිල්ලෙයාන්ට පනස් දහසක දඩයක් නියම කළා. නැවත වාරයක් අගෝස්තු මාසයේ 18 වැනිදාට දින නියම කළා.

මාධ්‍යයේ මං දැක්කා මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශයක් කර තිබුණා, පාස්කු එකට පිල්ලෙයාන් සම්බන්ධයි වගේ ප්‍රකාශයක්. නඩුවක් යන නිසා මට නඩුවටයි ඒකයි සම්බන්ධ කරලා කතා කරන්න බෑ. හැබැයි මාධ්‍යයේ වාර්තා වූ විදිහට පාස්කු දා ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධයි කියන චෝදනා මත මහමොළකරු කවුද කියන එක රටට හෙළි කරනවා කියලා ප්‍රකාශයක් තිබුණා. හැබැයි යම් විදිහකින් පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධයි කියලා සැක හිතෙන පුද්ගලයන්ගෙන් පිල්ලෙයාන් විතරයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ පිළිබඳව රජය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

අපට නඩු වැටුණට කමක් නෑ. මේ නඩු වැටෙන්න හේතුව මටයි පිල්ලෙයාන්ටයි පෞද්ගලික ආරවුලක්වත් නැත්නම් මම පිල්ලෙයාන් එක්ක තියෙන පෞද්ගලික ගනුදෙනුවකටවත් නෙවෙයි. පාස්කු දා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපි දිගින් දිගටම අරගල කරමින් සිටින නිසා තමයි නඩුව වැටිලා තියෙන්නේ. ඒක නිසා රජය මැදිහත් වෙලා පාස්කු දා ප්‍රහාරයේ ඉන්න සියලු දෙනා අල්ලන්න ඕනෙ. අසාද් මවුලානාගේ ප්‍රකාශයේ තව ගොඩක් දේවල් කියලා තිබ්බා. ඒවා ගැනත් හොයලා බලන්න ඕනේ. ඒ හිටපු අධිකරණ ඇමැතිවරයා පිළිබඳව බරපතළ චෝදනා තියෙනවා. හිටපු බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා පිළිබඳව බරපතළ චෝදනා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව බරපතළ චෝදනා තියෙනවා. මේ පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තිබෙන ජෝසප් පරරාජසිංහම් ඝාතනය පිළිබඳව නඩුව. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා රජය මීට වඩා වේගයෙන් මේ විමර්ශන කටයුතු කරයි කියලා.”

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT