Wednesday, April 23, 2025
Home » පාස්කු කොමිෂන් සභා වාර්තාව ජනගත කරන්න

පාස්කු කොමිෂන් සභා වාර්තාව ජනගත කරන්න

-ගලගොඩඅත්තේ ඥානසාර හිමි

by sachintha
April 23, 2025 1:43 am 0 comment

ආණ්ඩුව කරන්න ඕන අවුරුදු දෙකක් පරණ පාස්කු කොමිෂන් වාර්තාව සීඅයිඩී එකට භාර දෙන එක නොව, ප්‍රසිද්ධ වාර්තාවක් බවට පත් කර ජනගත කිරීම බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පෙරේදා (21) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.

“පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙක් අය ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ඔය කතා කරන පක්ෂ විපක්ෂ සියලු දෙනාටමත් වඩා, කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවටත් වඩා, මාධ්‍යවල පාස්කු දා ප්‍රහාරයක් සම්බන්ධයෙන් දොඩවන සියලු දෙනාට වඩා ශුද්ධ අයිතියක් ඒ සඳහා මට තියෙනවා.

2013 සිට අවුරුදු හයක හතක කාලයක් අඛණ්ඩව මෙවැනි ප්‍රහාරයක් රට තුළ සිදු වෙන්න පුළුවන් කියලා නොයෙක් සාක්ෂි ඇතිව අපි ප්‍රකාශ කළා. අවාසනාවකට කිසිම ආණ්ඩුවක් ඒවට ඇහුම්කන් දුන්නේ නෑ. මේවා හෙළිදරව් කරන විට අපට ජාතිවාදය අවුස්සනවා කියලා චෝදනා කළා. එදා මේ කතෝලික පල්ලිවල සහ සංචාරක හෝටල්වල මිය ගිය පුද්ගලයන් සම්බන්ධව මට විශාල කනගාටුවක් සහ වේදනාවක් තියෙනවා, මොකද මේ ප්‍රහාරය වළක්වා ගැනීමට උත්සාහ කළ කෙනෙක් විදියට. කාදිනල්තුමාගේ කතාව මම ඇහුවා. එතුමා අලුත් දෙයක් කිව්වේ නෑ. කිව්වේ මේ වාර්තා එළියට දාන්න කියලා පමණයි. අද නොයෙක් ප්‍රකාශ කරනවා පාස්කු දා ප්‍රහාරයේ මොළකරුවන් එළි කරනවා කියලා.

ජනාධිපතිතුමා යාපනය ගිහින් ජාතිවාදයට ඉඩක් නෑ කියනවා. මොකක්ද මේ ජාතිවාදය? කාටද ඔය කියන්නේ, අපට ද කියන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අදටත් අප අතට පත්වූ තොරතුරු කියන්න දෙන්න කෙනෙක් නෑ. ඒ සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. හරි නම් ආණ්ඩුව කරන්න ඕනෙ අවුරුදු දෙකක් පරණ කොමිෂන් වාර්තාවක් සීඅයිඩී එකට භාර දෙන එක නෙවෙයි. ප්‍රසිද්ධ වාර්තාවක් බවට පත් කර ජනතාවට බලන්න දෙන එක.”

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT