මීට මාස හතකට පෙර තිබුණේ හොරුන් තක්කඩින් පාලනය කළ ආණ්ඩුවක් බවත්, අද තිබෙන්නේ විධිමත් පාලනයකින් යුත් ආණ්ඩුවක් සහ පාලනයක් බවත් ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ නිවිතිගලදී පෙරේදා (21) පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමකදීය.
පළාත් පාලන මැතිවරණය සඳහා නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමට මේ රැස්වීම සංවිධාන කර තිබුණේ කණ්ඩායම් නායක මිල්ටන් විමලරත්න මහතාගේ සංවිධායකත්වයෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
“අපි පසුගිය ජනාධිපතිවරණයේදී කාලයක් පුරා රට කාපු හොර රැලෙන් පිට අපේ පන්තියේ පුංචි මිනිහෙක් වන අනුර කුමාර දිසානායක මහතා ජනපති හැටියට පත්කර ගත්තා. අපි අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා. ඒ ගමන
ගම්මට්ටමින් සාර්ථකව කරගෙන යන්න මේ පළාත් පාලන මැතිවරණය ඉතාමත් වැදගත්. විපක්‍ෂ නායකයා ඇතුළු සමහර අය මේ ආණ්ඩුවට චෝදනා කරනවා. අපි බලය අතට අරන් මාස හතයි. කවුරුවත් කලබල විය යුතු නෑ. අපි ජනතාවට දුන් පොරොන්දු එකින් එක ක්‍රියාවේ යොදවනවා. අපි බලයට එන්නට පෙර රට කොහේද තිබුණේ. අද කොහේද තිබෙන්නේ. පසුගිය කාලයේ මන්ත්‍රීවරුන් ගමට ආවේ නෑ. වර්තමාන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගමේ ජනතාව සමඟ එකට අත්වැල් බැඳගෙන ජනතාවගේ අවශ්‍යතා සොයා බලමින් කටයුතු කරනවා. ව්‍යාපාරික මහත්තයෙක් රෙදි ගෙනාවොත් බයක් සැකක් නැතිව අද විකුණන්න පුළුවන්. රටේ නීතියක්, මුදල් ස්ථාවරභාවයක් තිබෙනවා.
පසුගිය පාලනය කාලේ නීතියක් තිබුණේ නෑ. හොරු ඇල්ලුවේ නෑ. මගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා මාර්ගයේ ගමන් ගනිද්දී නීතිය කඩවීමක් සිදු වුණා. පොලීසියෙන් නීතිය ක්‍රියාත්මක කළා. දඩ කොළයක් දුන්නා. නියෝජ්‍ය ඇමැතිවරයා දඩ කොළේ ගෙවුවා. මේ විදියට රටේ නීතියක් පෙර තිබුණද? හොරුන් නැති ආණ්ඩුවක් ජනතාව පත්කරගෙන තිබෙනවා. ජනතාවගේ මුදල් තඹ සතයක් අයුතු විදියට පාවිච්චි කර නෑ. අපි හොරකම් කළා කියලා කවුරුවත් කියනවාද? අපි පත්කළ සභාපතිවරුන් හොරකම් කළාද? නෑ. මේ ආණ්ඩුවටවත් මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ටවත් හොරකම් කළා කියලා කිසිම චෝදනාවක් එල්ලවී නෑ. ගමේ කැඩුණු පාරවල් ඇතුළු සංවර්ධන වැඩ කරන්න මෙවර අය-වැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙනවා.
බුදුන් බණ කිවුවේ දුප්පත් පෝසත් අයට සමානවයි. විදේශ රටවල විශේෂ උත්සව පවත්වන විට VIP පාස් ඒ රටවල නායකයන් පාවිච්චි කරනවා. නමුත් දැන් මේ දිනවල දළදා වහන්සේ වසර 16කට පසුව ජනතාවට වන්දනාමාන කරන්න අවස්ථාව උදාකර දී තිබෙනවා. අපේ පවුල්වල අයත් දළදා වහන්සේ වන්දනාමාන කරන්න ආසයි. ඒත් අපි VIP පාස් යොදාගන්නේ නෑ. අපේ රටේ විනය නැති කළේ දේශපාලනඥයන්. එය අපි නැති කළා. ඥාති සංග්‍රහය නැති කළා. තාත්තා අගමැති, පුතා ඇමැති මන්ත්‍රීවරු ඥාතීන් නෑ. එකම රස්සාවක්වත් ඥාති සංග්‍රහයෙන් දී නෑ. රස්සාවක් දීමේදී දේශපාලන සංස්කෘතියට රැකියා දී නෑ, රජයේ සේවකයන් රාජපක්‍ෂලාට සම්බන්ධයි. අපි එය දන්නවා. අපේ ආර්ථිකයේ ප්‍රතිලාභ බෙදා දෙන්නේ නෑ. බැංකු පොලී අනුපාත අඩු කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභ වැඩි කර තිබෙනවා. අස්වැසුම ලබන අය සම්බන්ධව නැවත පරීක්‍ෂණ පවත්වා සුදුසු අය තෝරා අස්වැසුම දෙන අතරම අලුතින් 5000කට අස්වැසුම ඉදිරියේදී ලබා දෙනවා.”
රත්නපුර විශේෂ – එන්. පී. රාජදොරේ