Wednesday, April 23, 2025
Home » පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල ඖෂධවේදීන්ගේ ගැටළු ගැන කමිටු වාර්ථාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදෙයි

පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල ඖෂධවේදීන්ගේ ගැටළු ගැන කමිටු වාර්ථාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදෙයි

by yasara
April 23, 2025 4:23 pm 0 comment

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළුව පෞද්ගලික අංශයේ ඖෂධශාලා වලට වර්තමානයේ මුහුණදීමට සිදු වී ඇති ගැටළු රාශියකට  විසඳුම් සෙවීම සදහා පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ  කමිටු වාර්තාව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත එම කමිටුවේ  සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රමුඛ කමිටු නියෝජිතයින් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී භාරදී තිබෙයි.

පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා සඳහා ඖෂධවේදී කාර්යමණ්ඩලයේ හිඟයක් මෙන් ම එම ක්ෂේත්‍රයේ ඍජුව බලපානු ලබන ගැටළු රාශියක් පවතින බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කරුණු වාර්තා වීමත් සමග ඒ පිළිබදව සොයා බලා  සුදුසු නිර්දේශ සහිත වාර්තාවත් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මින් පෙර උපදෙස් ලබා දී ඇත.

ඒ අනූව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කරන ලදි. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම පංච පුද්ගල කමිටුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ  අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාතික උපදේශක චින්තා අබේවර්ධන, ජාතික බෝවන රෝග පිළිබද ආයතනයේ විශේෂඥ වෛද්‍ය සුරංග මානිල්ගම, ජාතික රුධිර පාරවිළයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික වෛද්‍ය චන්දන අතපත්තු යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙස පත් කිරීමට පියවර ගන්නා ලදී.

අවස්ථා කිහිපයක දී රැස් වූ මෙම පංච පුද්ගල කමිටුව විසින් විවිධ අංශයන්ගෙන් කරුණු විශ්ලේෂණය කර කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන නිර්දේශ ඇතුළත් කර මෙම වාර්තාව සම්පාදනය කර ඇත.

වර්තමානය වන විට ඖෂධවේදීන්ගේ හිගය ගණනය කර දත්ත විශ්ලේෂණය කිරීම, එවැනි හිගයක් සදහා මූලික හේතු හදුනාගෙන අනාගත අවශ්‍යතා පුරෝකතනය කිරීම, ඖෂධවේදීන්ගේ හිගය පියවීම සදහා කඩිනම් නිර්දේශ, ඖෂධවේදීන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින් නියාමන අවශ්‍යතා සපුරාලීමේදී පුහුණු වැඩසටහන්වල ප්‍රමාණවත් බව තක්සේරු කරමින් පුහුණු මාර්ග වැඩිදියුණු කිරීම, ඖෂධවේදීන්ගේ අධ්‍යපනය සහ පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර මටිටමින් ලබා දීම, ඖෂධවේදීයෙකු බිහිකිරීමේ දී අධ්‍යාපන සහ පුහුණු මාර්ග වෙනුවෙන් සංශෝධන ඉදිරිපත් කිරීම වැනි මූලික නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවට ඇතුළත්ව ඇති අතර එමෙන්ම ගැටළු සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන උපාය මාර්ගික නිර්දේශ ද මෙම වාර්තාවට ඇතුළත් වීම විශේෂත්වයකි.

මෙම වාර්තාවේ නිර්දේශ පිළිබදව අවධානය යොමු කරමින් පෞද්ගලික අංශයේ පවතින ඖෂධවේදීන්ගේ හිගය මෙන් ම එම අංශයේ පවතින ගැටලු මගහරවා එම අංශය තුළ ද කාර්යක්ෂම සේවාවක් ඇතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළුව මෙම පංච පුද්ගල කමිටුවේ සාමාජිකයින්  ද සහභාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT