Wednesday, April 23, 2025
Home » ආඬිඅම්බලමේ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට ආ සැකකරු ගිනි අවියත් සමඟ දැලේ

ආඬිඅම්බලමේ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට ආ සැකකරු ගිනි අවියත් සමඟ දැලේ

by sachintha
April 23, 2025 1:50 am 0 comment

විදෙස්ගතව සිටින පාතාලයේ අපරාධකරුවෙක් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ආඬිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නි‍ෙවසකට යතුරුපැදියකින් පැමිණ එම ව්‍යාපාරිකයාට වෙඩිතැබීමට උත්සාහ ගත් පුද්ගලයකු ගිනිඅවියද සමඟ ඊයේ (22) අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමඟ තවත් පුද්ගලයකු යතුරුපැදියෙන් පැමිණ ඇති බව ද පොලීසිය කියයි.

කටුනායක ආඬිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි මුදල් පොලියට දීමේ ව්‍යාපාරිකයකු වන අංජන නමැති 37 හැවිරිදි පුද්ගලයා ඉලක්ක කර ගනිමින් රතු පැහැති ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් මෙම ව්‍යාපාරිකයාගේ නිවෙසට දෙදෙනෙක් පැමිණ ඇත්තේ වාහනයක පොත තබා මුදල් ලබා ගැනීම සඳහා බව කියමින් බව සඳහන්ය.

එසේ පැමිණි පුද්ගලයන්ගේ හැසිරීම් රටාව ගැන සැක සිතූ මෙම ව්‍යාපාරිකයා වහාම මොවුන් ඇතුළු වූ ගේට්ටුව, දුරස්ථ පාලකය මගින් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ සමඟම නොසන්සුන් වූ මෙම පුද්ගලයන් දෙදෙනා, මෙම ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සූදානම් වුවද, එම ගිනි අවි නිසි පරිදි ක්‍රියාත්මක වී නැත. වෙඩික්කරුවන් සිය ප්‍රයත්නය අත්හැර, වහාම ආපසු හැරී දිව ගොස්, ව්‍යාපාරිකයාගේ අඩි 09ක් පමණ උසැති තාප්පයෙන් පිටතට පැන තිබේ.

එහිදී එක් වෙඩික්කරුවකුගේ කකුලෙහි අස්ථි බිඳීමකට ලක් වී ඇති අතර, ඔහු සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගැනීමට දැරූ උත්සාහය ද ව්‍යර්ථව ගොස් ඇත. ඔහුව අල්ලාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් විසින් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම සිදුවීම කටුනායක පොලීසිය වෙත දැනුම් දීමෙන් පසු, එම නිලධාරීන් පැමිණ, ව්‍යාපාරිකයාගේ නි‍ෙවසෙහි තාප්පය අසල වැටී සිටි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එම සැකකරු සන්තකයෙහි තිබූ රිවෝල්වරයක්, එයට යොදන උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සඳහා යොදන පතරොම් 09ක් සහිත පතරොම් ගැබක් සහ තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතරොම් ගැබක් ද සොයාගෙන ඇත.

අස්ථි බිඳීමකට ලක්ව සිහිසුන් තත්ත්වයේ සිටි වෙඩික්කරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම සැකකරු සමඟ පැමිණි දෙවැන්නා මිලිමීටර් 09 වර්ගයයේ පිස්තෝලයක් ද සමඟ පලාගොස් ඇත.

එම සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසේන මහතාගේ උපදෙස් මත, වැඩබලන සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කුලතුංග, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ සිදුකරති.

කටුනායක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT