Wednesday, April 23, 2025
Home » පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයට සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල නැහැ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයට සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල නැහැ

-කැබිනට් ප්‍රකාශක

by sachintha
April 23, 2025 1:49 am 0 comment

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයට නියමයෙන් හෝ අනියමෙන් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

දැනට විපක්ෂයේ සිටින, කලින් ආණ්ඩු කළ ඇතැම් පිරිස් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල ඇයි දැයි යන්න පිළිබඳ ආණ්ඩුව ද කල්පනා කරමින් සිටිනවා.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ කලබල වීමෙනුත් පේනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය නිසි පරිදි සිදු කරමින් සිටිනවා.

මේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. විවිධ පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කර ගන්නවා. ඒකට විපක්ෂයේ කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ එතුමන්ගේ ඇමැතිවරු, නාමල් රාජපක්ෂ වැනි අය කලබල වෙන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. අපට විමර්ශනය කරන්න සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 06ක් ගත වුණාට පස්සේ අවුරුදු පහහමාරක කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සහ ගත්ත තත්ත්වයක් උඩ. ඒ අවුරුදු 06යේ දී නිවැරදි විමර්ශනය කරන්න පුළුවන් වුණානම් සමහර විට මේ වෙනකොට සියලු මහමොළකරුවන් ඇතුළු කුමන්ත්‍රණයේ සියලු කොටස් හෙළිදරවු කරන්න හැකියාව තිබුණා. නමුත් පසුගිය ආණ්ඩු අවුරුදු පහහමාරෙදිම කරලා තිබෙන්නේ විමර්ශන ක්‍රියාවලිය යටපත් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඇතුළේ දේශපාලන අධිකාරය ගත් උත්සාහයක්.

සමහර විමර්ශන කමිටු වාර්තා ක්‍රියාත්මක නොකරන්න ඇමැති මණ්ඩලය තීන්දු අරගෙන තිබුණා. විමර්ශන නිලධාරීන් හතර වටේ මාරු කරලා තිබුණා. සාක්ෂි වසන් කරලා තිබුණා. විමර්ශන නොමඟ යවලා තිබුණා. පසුගිය මාස හයේ දි තමයි විමර්ශන කටයුතු නිවැරැදිව සිදු වෙන්නේ. විමර්ශන ක්‍රියාවලියේ දී කලින් යටපත් කරන ලද විමර්ශන නොමඟ යැවීමේ සිදුවීම් මතු වෙද්දි මේ අය කලබල වෙන එක ගැන හිතාගන්න පුළුවන්. දැනටමත් අලුතින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කරගෙන යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT