Wednesday, April 23, 2025
Home » පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීම CIDයට-උසාවියට භාරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීම CIDයට-උසාවියට භාරයි

-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
April 23, 2025 1:45 am 0 comment

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු එක්කෙනෙක්ද, කිහිප දෙනෙක්ද යන්න හෙළි කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට භාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විමර්ශන කටයුතු සාර්ථකව සිදුවෙනවා. එහෙත් දින වකවානු මේ වෙලාවේ කිව නොහැකියි.

පිල්ලයාන් සිදුකර ඇත්තේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පැහැර ගැනීම ගැන පමණක් නොවේ. ඔහුට එරෙහිව තවත් චෝදනා ගණනාවක් තිබෙනවා.

විමර්ශනවල ප්‍රගතිය මාධ්‍ය දැනගත යුතු ප්‍රමාණයට පොලීසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ හෙළිදරවු කරගෙන යනවා. එම නිසා ඔබ පූර්ව නිගමනයක ඉන්න එපා. පිල්ලයාන් කරපු එකම අපරාධය නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැර ගැනීම පමණක් කියලා. තව චෝදනා ගණනාවක් තිබෙනවා. සමහරු කරුණු හෙළිදරවු වෙලා තිබුණා. නමුත් දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේ දී තවත් තොරතුරු ලැබෙමින් තිබෙනවා. ඒ සමහර සිදුවීම් එකිනෙකට සම්බන්ධයි. සමහර චෝදනා මෙරට මහාධිකරණවල විභාගවෙමින් පැවති නඩුවලට අදාළයි. ඒ සියල්ල සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ. ඒ විමර්ශන මත පදනම් වෙලා දැනටමත් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අය මේ සමහර ඝාතන ක්‍රියාවලිවල කොතනද සිටියේ කියන එක සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට යන ආකාරය අනුව පොලීසිය හෙළිදරවු කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුත්ත සංකීර්ණ වැඩක්.

ඒකට අදාළ තොරතුරු හෙළිදරවු වෙමින් පවතිනවා. දැනටමත් කාදිනල්තුමා ඇතුළු මේ සම්බන්ධයෙන් නිරන්තරව ඉල්ලීම් ඉදිරිපත් කරපු සියලු කණ්ඩායම්වලට සෑහීමකට පත්විය හැකි විමර්ශන ප්‍රගතියක් පෙන්නුම් කරමින් යනවා. මහමොළකරු එක්කෙනාද, කීදෙනෙක්ද එය හෙළිකිරීම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරමු. උසාවියට භාර කරමු. අනිවාර්යයෙන්ම පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදුවන බව කියන්න පුළුවන්. ඒ ගැන දින වකවානු මේ වේලාවේ කියන්න බැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT