වෙළුම් 5යි-පිටු 66,300යි
කමිටුවට පොලීසියේ 5ක්
කඩිනමින් නීති ක්‍රියාමාර්ග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව අධ්‍යයනය කර එම වාර්තාවෙන් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් ආරම්භ කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කර තිබේ.
එම පංච පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉමේෂා මුතුමාල, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ එච්.ඩී.කේ.එස්. පෙරේරා යන මහත්ම මහත්මීන්ය.
වෙලුම් 05කින් යුක්ත මෙම වාර්තාවේ පිටු හැටහයදහස් තුන්සීයකට (66,300) වැඩි ප්‍රමාණයක් ඇති බවත් ඊයේ (22) මෙම වාර්තාව අධ්‍යයනය කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් මෙම කමිටුවේ උසස් පොලිස් නිලධාරියෙක් “දිනමිණට” පැවසීය.
ප්‍රධාන කමිටුවට අමතරව අනුකමිටු 06ක් ද ක්‍රියාත්මක බවත් ඒ එක් අනුකමිටුවක නිලධාරීන් 08 දෙනකු පමණ සිටින බවත් ඔහු පැවසීය. ජනපති කොමිෂන් සභා වාර්තාවේ එක් එක් පරිච්ඡේද මෙම නිලධාරීන් විසින් අධ්‍යයනය කරන බවද එම නිලධාරියා සඳහන් කළේය. මෙතරම් පිටු ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම වෙහෙසකර කටයුත්තක් වුවත් දිවා රෑ නොබලා එම වාර්තාව අධ්‍යයනය කර මෙතෙක් කර ඇති විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර ගැනීමට නොහැකි වූ යම් තොරතුරක් වෙතොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කඩිනමින් නෛතික පියවර ගැනීමට පියවර ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කොමිෂන් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින බවත් ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයන්ට එරෙහිව සිදු කරනු ලබන බව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ