Wednesday, April 23, 2025
Home » ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා ආහාර ප්‍රදර්ශනයක්

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා ආහාර ප්‍රදර්ශනයක්

by sachintha
April 23, 2025 1:17 am 0 comment

ශ්‍රී ලාංකේය ආහාරපාන ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ආහාර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ.

ජෝර්දානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී මෙම ආහාර ප්‍රදර්ශනය පවත්වා තිබේ. එය ජෝර්දානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සාර්ථකව පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ ආහාර සහ ශ්‍රී ලංකාව පිරිනමන විශිෂ්ට සූපශාස්ත්‍ර විවිධත්වය ප්‍රදර්ශනය කර තිබේ. දෙරට අතර සංස්කෘතික හුවමාරුව ද ප්‍රවර්ධනය කර ඇත.

කොත්තු රොටි, ආප්ප, ඉඳිආප්ප, තෝස, ශ්‍රී ලාංකික බත් සහ ව්‍යංජන, කෙටි ආහාර, සාම්ප්‍රදායික රසකැවිලි මෙන්ම ඒ මොහොතේම සකස් කරන ලද කෙටි ආහාර සහ ලංකා කළු තේ, රස කළ සහ අයිස් කළ තේ ඇතුළු පාන වර්ග අමුත්තන් විසින් භුක්ති විඳ තිබේ.

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙම කෑම වර්ග පිළියෙල කර තිබෙන අතර, එම උත්සවයේදී භාවිත කර තිබෙන සියලුම ප්‍රධාන කෑම වර්ග සහ අමුද්‍රව්‍ය විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කර ඇත.

මෙම උත්සවය ශ්‍රී ලාංකික ආහාරවල විවිධත්වය සහ පොහොසත්කම සැමරීම පමණක් නොව, ජෝර්දාන වැසියන් සහ ජෝර්දානයේ වෙසෙන විදේශිකයන් අතර ශ්‍රී ලංකාව ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ද අරමුණු කරගෙන තිබේ.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිනි ජේ.ඒ.ඩී.එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මිය, උත්සවයට සහභාගි වූ අමුත්තන් සමඟ කළ අන්තර් ක්‍රියාවලදි, 2025 ශ්‍රී ලංකා ආහාර ප්‍රදර්ශනය වැනි සිදුවීම් දෙරට අතර සහ ජනතාව අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කරනු ඇති බව පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව, ජෝර්දාන වැසියන් සහ අනෙකුත් විදේශීය ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මාධ්‍යවේදීන් ඇතුළු අමුත්තන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගි වී ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT