Wednesday, April 23, 2025
Home » කොරියාවේ “Kang Gam Chan” යුද නෞකාව කොළඹ වරායට

කොරියාවේ “Kang Gam Chan” යුද නෞකාව කොළඹ වරායට

by sachintha
April 23, 2025 1:16 am 0 comment

ශ්‍රී ලංකා – කොරියානු ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් කොරියානු නාවික හමුදාවට අයත් “Kang Gam Chan” යුද නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ.

දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඊයේ (22) කොළඹ වරායට පැමිණි එම නෞකාව සිය මෙහෙයුමේ 44 වැනි පරිවාර කාර්ය කණ්ඩායමේ (ETG) කොටසක් ලෙස පැමිණි බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය පවසයි.

කොළඹ වරායට පැමිණි මෙම නෞකාවේ සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියොන් ලී මහත්මිය සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති මේජර් ‍ෙජනරාල් අරුණ ජයසේකර මහතා ඇතුළු පිරිසක් පැමිණි අතර එම නෞකාව ශ්‍රී ලංකාවේ රැඳීසිටින කාලයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වීමට ද නියමිතය.

කොරියානු ජාතිකයන් ආරක්ෂා කිරීම සහ කොරියානු හා විදේශීය යාත්‍රාවල ආරක්ෂිත සංචලනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම මඟින් සමුද්‍රීය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර උත්සාහයන්ට සහාය වීම සඳහා මෙම නෞකාව කටයුතු කරයි.

“Kang Gam Chan”හි මෙම සංචාරය දෙරට අතර හමුදා සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව සහ උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් වෙයි.

2009 දී එම නෞකාව පළමු සංචාරයේ සිට, ඒඩන් බොක්ක සහ ඕමාන් බොක්ක අවට සංචාරය කොට තිබේ. ඒඩන් බොක්ක යනු කොරියාවේ වාර්ෂික සමුද්‍ර සැපයුම් පරිමාවෙන් ආසන්න වශයෙන් 26%ක් පමණ වන වැදගත් සමුද්‍ර මාර්ගයක් වන බව ද කොරියානු ධජය සහිත යාත්‍රා 320ක් පමණ වාර්ෂිකව ගමන් කරන බව ද කොරියානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියොන් ලී මහත්මිය පෙන්වා දුන්නේ,

මෙම කොරියානු නාවික නෞකාව යුද මෙහෙයුම් වෙනුවෙන් සම්බන්ධ වන බවත් ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට පැමිණීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ය. ත්‍රස්තවාදයට එරෙහිව මුහුණදීමේ හැකියාව ද මෙම නෞකාව සතු බව ඒ මහත්මිය සඳහන් කළාය.

නියෝජ්‍ය ආරක්ෂක ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සුහඳත්වය වර්ධනය කර ගැනීම සඳහා කොරියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.

ශ්‍රී ලංකාව මෙන්ම කොරියාව ද සමුද්‍රීය රටවල් ලෙස එක හා සමාන තර්ජනවලට මුහුණදෙන බවත් ය. ඒ සම්බන්ධයෙන් වන සහයෝගීතාව ගොඩනඟා ගැනීම සඳහා මෙම නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙන බව ද ලෝකයේ සෑම රටකටම ශ්‍රී ලංකාව වටිනවා මෙන් ශ්‍රී ලංකාවට ද ලෝකයේ සෑම රටක් වටින බවයි.

කොරියානු තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන්, එම නෞකාවේ කාර්ය මණ්ඩලය කොරියානු ආහාර රස බැලීමේ අවස්ථාවක්, ටයිකොන්ඩෝ නිරූපණයක් සහ K – පොප් රංගනයක් ඇතුළත් සංස්කෘතික උත්සවයක් ද පැවැත්වීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් එස්.පී. බානගොඩ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT