Wednesday, April 23, 2025
Home » ගොවියාගේ ලාභය වැඩිකර ආදායම ස්ථාවර කරනවා
‘එක මිටට ගොවිබිමට’ ජාතික වැඩපිළිවෙළින්

ගොවියාගේ ලාභය වැඩිකර ආදායම ස්ථාවර කරනවා

-කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

by sachintha
April 23, 2025 1:16 am 0 comment

 

නව රජයේ කෘෂිකාර්මික හා පශු සම්පත් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළ මූලික කරගෙන ක්‍රියාත්මක ‘එක මිටට ගොවිබිමට’ වැඩසටහන සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න සහ සුසිල් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මේ සඳහා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ලේකම්වරුන්, පළාත් කෘෂිකර්ම ලේකම්වරුන්, අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීහු එක්වූහ.

මෙහිදී භෝග වගා නිෂ්පාදන සැලැස්ම සඳහා ප්‍රධාන භෝග 13ක් ඇතුළු එළවළු සහ පලතුරු නිෂ්පාදන ඉලක්ක පිළිබඳව මෙන්ම වගා වපසරිය සහ කෘෂිකර්මාන්තය සඳහා නව භූමි යොදාගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඵලදායිතාව ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණික පැකේජ පිළිබඳව මෙන්ම ගොවියාගේ ලාභය වැඩි කර ගැනීම මෙන්ම ගොවියාගේ ආදායම ස්ථාවර මට්ටමට ගෙන ඒම පිළිබඳව ඇමැති ලාල්කාන්ත මහතා මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කළේය.

මේ සඳහා පළාත් කෘෂිකර්ම අංශයේ දායකත්වය සහ මහවැලි අධිකාරිය දායකත්වය ලබා දෙයි. මේ යටතේ යෝජිත නව වගා වපසරිය පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු කරමින් ජාතික නිෂ්පාදන සැලැස්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලදි.

මෙහිදී මුදල් කොමිෂන් සභාව වෙනුවෙන් මෙම වර්ෂයේ කාෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා පළාත් සභා වෙනුවෙන් වෙන් කර ඇති මුදල් පිළිබඳව මෙන්ම, ඒවා මෙම ජාතික සංවර්ධන ඉලක්ක වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳව ද ආයතන දැනුම්වත් කරන ලදි.

මීට අමතරව කෘෂි නිෂ්පාදනවල වියදම පහළ දැමීම, සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බහු වාර්ෂික භෝග සඳහා ඉඩම් පරිහරණය, කෘෂිකාර්මික දත්ත ලබා ගැනීම පිළිබඳවත්, කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය තෘණ වගා කිරීම, වගා නොකරන ගොඩ සහ මඩ ඉඩම් නැවත වගා කිරීම කෙරෙහිත් අවධානය යොමු විය.

රජයේ ඉඩම් වගා කටයුතු සඳහා ලබාගැනීමෙන් මෙන්ම රටේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීමේදී පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම පිළිබඳවත් ඒ සඳහා පශු වෛද්‍ය සේවාවේ දායකත්වය පුළුල් කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා විය.

‘එක මිටට ගොවිබිමට’ වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික සැලැස්මක් අනුව මධ්‍යම රජය හා පළාත් සභා ඇතුළු සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන දීපව්‍යාප්ත ජාතික කර්තව්‍යයක් වීමයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT