Wednesday, April 23, 2025
Home » අල්ලස් කොමිසමේ කැඳවීම ගැන රනිල්ගෙන් අද ප්‍රකාශයක්

අල්ලස් කොමිසමේ කැඳවීම ගැන රනිල්ගෙන් අද ප්‍රකාශයක්

by sachintha
April 23, 2025 1:07 am 0 comment

ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට තමා කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහන් කරයි.

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් දීමට අප්‍රේල් 17 වැනිදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද එදිනට පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපතිවරයා දන්වා යවා තිබිණි. ඒ අනුව මෙම 25 වැනිදා පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

තමාගේ නීතිඥවරයා විදෙස්ගත වී ඇති බවත් ඔහු නැවත මෙරටට පැමිණි විට දිනයක් යොදාගෙන කොමිසම වෙත යන බවත් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් සහභාගි වූ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (21) පැවති රැස්වීමකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමා අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ අනුදැනුම ඇතිව පළාත් සභා මුදල් තැන්පත් ගිණුම්වල තැබීමට නොහැකි බවට භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛයක් නිකුත් කළ බවත් එම අවස්ථාවේ චාමර සම්පත් මහඇමැතිවරයා මෙන්ම තවත් මහඇමැතිවරුන් කිහිපදෙනකු එම මුදල් තැන්පත් ගිණුම්වලින් ඉවත් කර තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පසුගිය 10 වැනිදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත්වලද මේ කටයුතු සිදු කෙරුණු බවත් වත්මන් ඇමැති සමන්ත විද්‍යාරත්න අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් කොමිසමෙන් මේ පිළිබඳ විභාග කළත් එයින් හිටපු මහඇමැතිවරයා වැරදිකරු ලෙස ඔප්පු වී නොමැති අතර සැකකරුවකු ලෙසවත් ප්‍රකාශයට පත් නොකළ බවත් එම නිවේදනයේ සඳහන් විය. නැවතත් විභාග කරන්නේ ඒ කාරණා මත වන අතර අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි නොමැති බවත් චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රබලව හඬ නඟන බැවින් මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ ඔහුගේ මැදිහත්වීමට සම්බන්ධදැයි විශාල ප්‍රශ්නයක් තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT