එළැඹෙන 26 දා පැවැත්වේ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.
විදු රැස්දහරින්-දිවි සුවපත් කළ දේවපාල විදුහල
කුරුණෑගල – දඹුල්ල පාරේ කිලෝමීටර් දහනවයක් පමණ දුර ගිය විට, වෙල්යායකට මුහුණ ලා ඉදිකළ විසල් ගොඩනැඟිල්ලක් දක්නට ලැබේ. පාරෙන් වම් පස මීටර් දෙසීයක් පමණ දුරින් ධවල වර්ණයෙන් බබළන මේ තෙමහල් ගොඩනැඟිල්ල පළමුවරට දුටු අයෙකුට සිතෙන්නේ එය තරු පන්තියේ හෝටලයක් බවයි. එම ගොඩනැඟිල්ලට දකුණු පසින් තවත් ගොඩනැඟිලි ගණනාවක් දිස් වන්නේ නෙතට උලෙළක් විලසිනි.
නමුත් මෙය වයඹ පළාතේ,හිරියාල හත්පත්තුවේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් බොදුනු විදුහලකි. එය විශේෂයෙන්ම දැරියන්ගේ අධ්‍යාපන අරමුණු යථාර්ථයක් බවට පත්කරන‘දේවපාල විද්‍යාලය’ නමින් ප්‍රකට වී තිබේ.
අද සත්කෝරළයේ පතළ විදුහලක් වුවද මීට තිස් වසරකට පෙර එය ආරම්භ වුයේ, බහුජනතාවගේ හිත සුව වෙනුවෙන් අසීමිතව කැපවුණූ මහතෙරනමකගේ පාරමී දමක අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙනි.
ඉහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරයද ඉසිලූ උන්වහන්සේ රඹුක්වැල්ලේ පඤ්ඤාසාර නමින් ප්‍රකට වූහ. පඤ්ඤාසාර නාහිමියෝ බොහෝ සිහින දුටුවහ. සාමාන්‍ය මිනිසෙකුට නම් කිසිදිනෙක පසක් කරගත නොහැකි යැයි සිතෙන එම සිහින උන්වහන්සේ වීර්ය පාරමිතාවක් බවට පත්කර ගත්හ. පොල්ගොල්ලේ පිංගල්පොත්ත රජමහා විහාරාධිපතිවූද, ශාස්ත්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙනේ පරිවේණාධිපතිවූද උන්වහන්සේ දේවපාල විද්‍යාලය නිර්මාණය කිරීමට ගත් වෙහෙස අපමණය.
කොළඹ, කොටහේන ප්‍රදේශයේ අභාවයට ගිය දෙමළ පාසලක් ඇති බව උන්වහන්සේ දැන ගත්හ. එතැන් පටන් එම ආයතනය මිල දී ගෙන, තමන්ගේ දැයේ දුවා දරුවන්ට පාසලක් ඉදිකර දීම උන්වහන්සේගේ අරමුණ වූහ. දේවපාලය ගොඩනැඟීම පිළිබඳ කතාව වෙනම ලිපියකින් පැහැදිලි කළ යුතු රසවත් වෘත්තාන්තයකි. එහිදී මුහුණ පෑ පරිපාලන හා ඇතැම් ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම සඳහා තවත් සත්පුරුෂයෙකු ද උන්වහන්සේට දායක විය. ඒ මීට ටික කලකට පෙර අභාවයට පත් වූ ‘නඩේෂන් පද්මනාදන්’ නමැති ගුරුභවතාය. ඔහු දේවපාලයේ ආරම්භක ප්රධානාචාර්යවරයා ලෙසින් සැලකිය හැකිය.
එතැන් සිට ඉබ්බාගමුව ප්‍රදේශයට පමණක් නොව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලින් ද සිසු දැරියෝ දේවපාල විදුහල වෙත ඇදී ආහ. විශේෂයෙන් විවිධ සමාජීය සහ ආර්ථික සාධක හමුවේ අධ්‍යාපනය අත්හැරුණු දැරියන්ට දේවපාලය ක්ෂේම භූමියක් විය.
මේ කාලය වන විටත් ඉංග්‍රීසි අධ්‍යාපනය සීමා වී තිබුණේ වරප්‍රසාද ලත් පන්තියේ දරුවන්ට පමණි. මේ තත්ත්වය මනාව අවබෝධ කරගත් පඤ්ඤාසාර නාහිමියෝ දේවපාල විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය අංශය ආරම්භ කළහ. අද වන විට පළාතේ වැඩිම ඉල්ලුමක් සහිත ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන අංශය හිමිව ඇත්තේ දේවපාල විදුහලටය. විවිධ ජාතීන්ට හා විවිධ ආගම්වලට අයත් දුවා දරුවෝ එකම පවුලක් සේ සෙනෙහසින් බැඳී අධ්‍යාපනය ලබන ආකාරය දැකගත හැකිය. ඒ නිසා විවිධ කාලවකවානුවල අපේ රට තුළ හඹා ගිය ජාති, ආගම්වාදී අග්නි ජාලා හමුවේ ඉඳුකිලක් සේ නොසැලී සිටීමට ‘දේවපාලය’ සමත් විය.
අද දේවපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා දරු දැරියෝ එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබති. එහි වර්තමාන විදුහල්පති ධුරය දරන්නේ, ශාස්ත්‍රපති දුනුකේදෙණියේ කුසලධම්ම හිමිපාණෝය. උන්වහන්සේ කාලයක් විශ්වකෝෂයේ නියෝජ්‍ය සංස්කාරක ධුරය ද ඉසිලූ සේක.
දේවපාල විදුහලේ ආචාර්ය මඬුල්ල සියයකට ආසන්නය. එයින් බොහෝ දෙනෙක් ගෞරව උපාධිධාරිනියෝය, සෙසු අය අතර පුහුණු ආචාර්යවරියෝද, ඩිප්ලෝමාධාරිනියෝද, විවිධ විදෙස් භාෂාවන් පිළිබඳ ප්‍රවීණතා ඇත්තෝ ද වෙත්. ඔවුන් සියල්ලෝම අතිශය කැපවීමෙන් කටයුතු කරන නිසා අද මෙම විදුහල වඩාත් සංවර්ධනීය අවධියකට ප්‍රවේශ වී තිබේ. දේවපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය හොබවන්නේ, චමිලා ප්‍රියංගනී කුමාරසිංහ මහත්මියයි. ඇයගේ සහායට, සහකාර විදුහල්පතිනියන් සහ අංශභාර ගුරු මහත්මීන් ඇතුළු අන් සියලුදෙනාගේ සහාය හිමිවේ.
පසුගිය වසරේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ළමෝ එකොළොස් දෙනෙක් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගත්හ. පසුගිය අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් සාමාර්ථ 9ක් ලැබූ සිසුවෝ 9 දෙනෙක් සිටියහ. ඊට අමතරව අ.පො.ස. (උසස් පෙළ)විභාගය සමත් වී සරසවි වරම් ලැබූ දරුවෝ රැසක් වෙති.
දේවපාල විද්‍යාලයේ නැටුම් කණ්ඩායම 2017 වසරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්හ. එසේම 2019 වසරේ දී සංගීත අංශයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා ගැනීමට හැකි විය. සෑම වසරකදීම පළාත් තරගවලදී දේවපාලයේ සෞන්දර්ය අංශය ප්‍රථම හා දෙවන ස්ථාන හිමිකර ගන්නා බව ද සඳහන් කළ යුතු ය.
එසේම ඉංග්‍රීසි මාධ්‍ය අංශයෙන් කථන කුසලතා දක්වන දේවපාලයේ දරුවෝ 2023 වසරේ ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියෙන් වයඹ පළාතේ තෙවන ස්ථානය හිමිකර ගත්හ. ඊට අමතරව 2023 සහ 2024 වසරවල චෙස් ක්‍රීඩාවෙන් පළාත් තරග ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වී ඇත.
දේවපාල විදුහලේ තිස්වසරක අභිමානය සැමරීමේ උත්සවය වෙනුවෙන් නිර්මාණ කළ අපූරු තේමා ගීයක් ද ඇත. එය වඩාත් අවධානය දිනා ගනු ලබන්නේ 07 වන ශ්‍රේණියේ දැරියක විසින් පබඳින නිමැවුමක් වන බැවිනි. ඇයගේ සම්පූර්ණ නම‘එම්.පී. යෙසදි සදිස්නා අමරසිංහ’ ය.
“විදුරැස් දහරින් දිවි සුපසන් කළ
සිප් සත දී නිති යහ ගුණ කැන්දුව
තිස්වසරක රන් කිරුළු පැලැන්දුව
දේවපාල නාමය රැව් දේ
ලකඹර දිදුලයි – සිව්කොන වැජඹෙයි
ඔබ ඇකයේ සිප්සතර ලැබූවන්
ඔද තෙදබන්දා – අබිමන් කැන්දා
දේවපාල නාමය රැව්දේ
සියොත් කැලක් සේ රොද බන්දා
මෙත් මුදිතා වෙන් සිත් කැන්දා
තිස් වසරක සිප් සුවඳ හමායන
මේ පින්බිම මත
දේවපාල නාමය රැව් දේ…
ජේ.එම්.උමංදා රසිකානි