Wednesday, April 23, 2025
Home » සාදු සාදු සිරි දළදා නමාමි

සාදු සාදු සිරි දළදා නමාමි

by sachintha
April 23, 2025 2:09 am 0 comment

සිරි දළදා දැක්ම ආරම්භ වී තවමත් ගෙවී ඇත්තේ දින පහකි. මෙම දින පහ තුළ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගත්හ. වසර 16කට පසු මෙම දුර්ලභ අවස්ථාව ලැබීම හේතුවෙන් අන් කවරදාටත් වඩා වැඩි ආකර්ෂණයක් මෙවර දළදා වන්දනාව සඳහා ලැබී තිබේ. දළදා වන්දනාව 18 වැනි දින ආරම්භ වීමට තිබියදී 16 වැනිදා වන විට සැදැහැවතුන් පෝලිම්වලට එකතු වීමෙන් එය පැහැදිලි වන්නේය. මෙම පැමිණෙන පිරිසගේ මෙන්ම දළදා වහන්සේගේ සහ දළදා මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ 8,500ක් සේවයේ යොදවා තිබේ. මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ හා ත්‍රිවිධ හමුදාවේ පිරිසක් ද සේවය සඳහා කැඳවා ඇත්තේ ආරක්ෂක වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කිරීමට ය. දළදා මාලිගා පරිශ්‍රයේ පමණක් පොලිස් නිලධාරීන්, බුද්ධි නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 1,060ක් සේවයේ යොදවා තිබෙන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි.

දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන් අවස්ථා දෙකකදී පොලිස් නිලධාරීහු පරීක්ෂාවට ලක් කරති. මීට අමතරව ඔවුන් රැගෙන එන භාණ්ඩ සුරක්ෂිතව තබා ගැනීම සඳහා ස්ථාන තුනක් ස්ථාපිත කර තිබෙන අතර, ඒවාහි ආරක්ෂාව ද පොලීසිය හා ත්‍රිවිධ හමුදාව භාරයේ පවතී. ආරක්ෂක කටයුතු කැපවීමෙන් සිදු කරන අතරතුර සැදැහැවතුන් හසුරවමින් දිනකදී වැඩි පිරිසකට දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට අවකාශ සැලසීමේ ක්‍රියාවලියේද වැඩි කාර්යභාරයක් සිදු කරනු ලබන්නේ ආරක්ෂාව භාරව සිටින පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ය. මේ සියල්ල මධ්‍යයේ ඔවුන් දළදා වන්දනාවට පැමිණෙන ආබාධිත පුද්ගලයන්ට උදව් උපකාර කරන්නේ ඔවුන් තුළ පවත්නා උදාර මිනිසත් බව ප්‍රදර්ශනය කරමිනි.

පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ පිරිස්, ආබාධිත භික්ෂූන් වහන්සේලා දළදා වන්දනාවෙන් පසු පිටතට වැඩමවන අයුරු අපි දුටුවෙමු. ඇවිද ගැනීමට අසීරු මව්වරුන්ට හා පියවරුන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සොයා දෙන්නට වෙහෙසෙන අතරතුර ඔවුන්ගේ පිහිටට ඉදිරිපත්වන ආරක්ෂක රාජකාරියේ නිරත නිලධාරීන්ට සැදැහැවතුන් පින් දෙන්නේ මගේ දුව, පුතා මතු බුදුවෙන්න ඕනෑ යැයි කියමිනි.

මෙදා දළදා වන්දනාවට පැමිණි පිරිස අතර සිටි තවත් අයකුගේ සහාය අවශ්‍ය පිරිසට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහෝදර සාමාජිකයන් උදව් උපකාර කළේ අන් අයට පිහිටවීමේ උතුම් බුදුගුණ සිහිපත් කරවමිනි….

අසේල කුරුළුවංශ හා නයනතාරා ලියනාරච්චි

ඡායාරූප – රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT