Wednesday, April 23, 2025
Home » ලොවෙහි සාමය පාප්තුමාගේ අපේක්ෂාවයි

ලොවෙහි සාමය පාප්තුමාගේ අපේක්ෂාවයි

by sachintha
April 23, 2025 1:36 am 0 comment

(මරදාන, පාතිමා පල්ලියේ මීසම භාර ජගත් ඇන්තනි පියනම (නිමනි) සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි)

ශුද්ධෝත්තම පාප් පදවියට පත්වූ පළමු ලතින් අමෙරිකානු පූජකවරයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත්දා (21) ස්වර්ගස්ථ වූහ. 88 වියේ පසු වූ එතුමන් ස්වර්ගස්ථ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගෙන් පසුව බිහි වූ පල්ලියේ ආදරණීයම චරිතය වශයෙන් ජනාදරයට පත්ව සිටියහ. අපෝස්තලික මාලිගයේ අලංකාර මහල් නිවාසවලට වඩා කුඩා සරල නවාතැනකට ප්‍රිය කළ අද අපේ කතානායකයාණෝ මහජනතාව අතර ජීවත් වීම බෙහෙවින් ප්‍රිය කළහ. එවන් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම කෙරෙහි ලොව පුරා බිලියනයකට අධික කිතුණු ජනතාව වඩා වැඩි අවධානයක් යොමු කළේ, සරලකම, අල්පේච්ඡකම, මානව දයාව ආදී උතුම් ගතිගුණ නිසාය. එසේම, උන්වහන්සේ පිහිටක්, අස්වැසිල්ලක් අවශ්‍ය ජනතාව කරා නොපමාව ළඟා වූ හෙයිනි. නොඑසේ නම් දුරින් සිට වුවද ඔවුන්ගේ දුක්, දොම්නස්, කම්කටොලු නිරාකරණය පිණිස ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරවීම එතුමන්ගේ ජීවිත කාලය පුරාම දක්නට ලැබුණකි. දුගී, දුප්පතුන් එතුමන්ගේ අස්වැසිල්ල නොමඳව ලදහ. රට රටවල් කෙරෙහි මහා බලවතුනටත් කළ නොහැකි වූ මානුෂීය බලපෑම් ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආදරණීය ආමන්ත්‍රණයෙන් කළ හැකි විය. එතුමන්ගේ අවසන් මොහොත දක්වාම එය එසේමය.

මේ අයුරින් නිතිපතා ලෝක මෙහෙවරෙහි නිරත වුවද ගතානුගතික ඇවතුම් පැවතුම් ඇත්තන්ගෙන් උන්වහන්සේට බාධා, අවලාද, ඇනුම් පද එල්ල වූ වාර බොහෝය. ඇතැම් පැරණි සම්ප්‍රදායන් බිඳ දමන බවටත් ඒ ඇතැමුන් චෝදනා කළේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආදරණීය සම්ප්‍රදායන් කුණු කූඩයට ඇද දමන බවත් කියමිනි. එහෙත් ඒ අවලාදවලට පිළිතුරු දීමට කාලය වැය කිරීමට වඩා පැවරුණු උතුම් මානුෂීය මෙහෙවරත් එය නොපිරිහෙළා ඉටු කිරීමත් උන්වහන්සේගේ පිළිවෙත විය. සැබැවින්ම පසුකාලීනව ඒ ඒ චෝදනා කළ තැනැත්තන්ටම තම තමන්ගේ අඩුලුහුඩුකම් වැටහෙන්නට විය. ඒ මිසෙක බාධා මැද තමන්ගේ මෙහෙවර බිඳකුඳු අඩු කිරීමට අනෙකාගේ දොස් පරොස් නැඟීම් හේතුවක් කර නොගත්හ. ඒ ඇතුළු උතුම් මානුෂීය ගති කොතෙකුත් අප අතර ඉතිරි කරමින් උන්වහන්සේ ස්වර්ගස්ථ වූහ.

තවද, ශාරීරිකවත් කෙතරම් පීඩා පැවතුණ ද එය කිසිවිටෙකත් පසුබට වීමට කරුණක් වශයෙන් උන්වහන්සේ නොසැළකූහ. වයස අවුරුදු විසි ගණන් වන විටදීම ශල්‍යකර්මයකින් එතුමන්ගේ පෙණහලු කොටසක් ඉවත් කෙරුණ ද එය ද නොතකා මහජනතාවගේ දුක් නිවීම කෙරෙහි කැපවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වියපත් වෙත්ම ශ්වසන රෝගවලට ගොඳුරු වීමේ වැඩි නැඹුරුතාවක් පැවතිණ. ඉන්ෆ්ලුවෙන්සාව, පෙණහලු දැවිල්ල ආදියෙන් නිතර බැට කෑමට සිදු වුවද ඒ කිසිවකට පාප් වහන්සේගේ අති මහත් මානව දයාව යටපත් කළ නොහැකි විය. ලෝක සංචාර කෙරෙහි එය බාධාවක් කර නොගත්හ.

එසේම, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දයාබර දෑත කිසිසේත්ම කිතුණු ප්‍රජාවට පමණක් සීමා නොවුණකි. ගාසා තීරයේ මිය යන, සදාකාලික අබාධිත වන මිනිසුන් වෙනුවෙන් එතුමන් අවසන් මොහොත දක්වාම සාමය ආයාචනා කළහ. ඒ දුක් වේදනා වෙනුවෙන් කඳුළු සැලූහ. යුදෙව් විරෝධී ප්‍රවණතාව පිටුදැකීමට දිරි දුන්හ. ලොව සාමය ඉහළින්ම පැවතීම එතුමන්ගේ අපේක්ෂාව විය. ඒ උදෙසා කළ හැකි සෑම දෙයක්ම කරමින් ලෝකයාට ඊට මඟ පෙන්වීය. අරාබිකරයේ සංචාරය කරමින් ලොවට කියා පෑ ඒ දයාව, කරුණාව සෙනෙහස මෙරටටත් එසේම විය. යුද්ධය නිසා වැනසෙන ජීවිත වෙනුවෙන් එතුමන් පෙනී සිටියහ. එම පීඩාවෙන් ජනතාව මුදවීමට කටයුතු කළේය.

‘සියලු ඊශ්‍රායල සහ පලස්තීන ජනතාවගේ දුක් වේදනාවලට මගේ සමීප බව ප්‍රකාශ කරමි…’ ඒ එතුමන් ලොවට කියා පෑ මානව දයාවයි. සාමයේ පණිවුඩයයි. එතුමන්ගේ පාස්කු දින පණිවුඩයට ද එය අන්තර්ගත විය.

මෙරටට ද එතුමන්ගේ ඇල්ම බැල්ම, පිළිසරණ ලැබිණ. වර්ෂ 2015දී මෙරට සංචාරය කරමින් යුද්දයෙන් බැට කෑ අහිංසක සිවිල් ජනතාවට අස්වැසිල්ලක් ළඟා කර දීමට හැකි මංපෙත් පෙන්වා දුන්හ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආයාචනා කළහ. උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේ එතුමන්ගේ දයාබර දෑත ලොවට මෙන්ම අපට ද අවශ්‍ය මොහොතකය. එහෙත් උන්වහන්සේ පෙන්වා දුන් උතුම් ගතිගුණ, මානව දයාව පෙරදැරි කර ගැනීමට අප ඉටා ගනිමු. එය උන්වහන්සේට කරන උතුම් හරසර දැක්වීමකි. ප්‍රතිඋපකාරයකි. ගරු කිරීමකි.

නුවන් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT