Wednesday, April 23, 2025
Home » ගමේ දියුණුවට ඔබේ තේරීම අපට වැදගත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

ගමේ දියුණුවට ඔබේ තේරීම අපට වැදගත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

by sachintha
April 23, 2025 2:09 am 0 comment

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබා දීමට අවශ්‍ය බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

අගමැතිනිය මේ බව පැවසුවේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ උක්කුලන්කුලම ක්‍රීඩාංගණයේ ඉකුත්දා (20) පැවති ජන හමු අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය මෙලෙස ද කීවාය.

“ජනතාවට ඇහුම්කන් දෙන්න රජය සූදානම්. අපේ ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති පාර්ලිමේන්තුව තමයි මේ. මීට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ටම මන්ත්‍රීවරියන් හිටියේ 5%ටත් අඩුවෙන්. නමුත් මේ රටේ ජනගහනයෙන් 52%ක්ම කාන්තාවන්.

මේ රටේ ආර්ථිකය, පවුල් සංස්ථාව, සමාජය රැකගන්න විශාල වැඩ කොටසක් කරන ගැහැනු අපට පාර්ලිමේන්තුවේ පැවති නියෝජනය ඉතාමත් අඩුයි. එනිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් සහෝදර මන්ත්‍රීවරුන් පමණක් නොවෙයි සහෝදර මන්ත්‍රීවරියන් වැඩි පිරිසක් ද පාර්ලිමේන්තු එවන්න කියලා.

වවුනියාව කියන්නේ මේ වන විට දියුණු වන නගරයක්. මිනිසුන්ට ප්‍රාදේශීය සභාවකින් සිද්ධ විය යුතු දේවල් සිද්ධ වෙන්න ඕනෙ. ගමේ දියුණුවට ප්‍රාදේශීය සභාව සක්‍රියව මැදිහත් වෙන්න ඕනෙ. අධ්‍යාපනය කියන්නේ උතුරේ ජනතාවට ඉතා වැදගත් දෙයක් කියලා අපි දන්නවා. ඔබ අධ්‍යාපනයට ලොකු වටිනාකමක් දෙනවා. පොදුවේ රටේ අධ්‍යාපනය නාස්ති වෙලා, දුර්වල වෙලා තියෙන්නේ. විශේෂයෙන් උතුරේ අධ්‍යාපනයට දිය යුතු අවධානය නොදීම නිසා වෙනත් ප්‍රදේශවලටත් වඩා දුෂ්කර වෙලා තියෙනවා. මේ අතර මට තවත් වඩාත් භයානක දෙයක් දැනගන්න ලැබුණා. තරුණ තරුණියන් අධ්‍යාපනයට දෙන වටිනාකම එන්න එන්න අඩු වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය සහ අරක්කු සුලබව දැන් හැම තැනම තියෙනවා. ඒවායෙන් වැළකී තරුණ තරුණියන්ට සතුටු වෙන්න අවශ්‍ය මාර්ග මෙහෙ නෑ. විද්‍යාව, කලාව, නාට්‍ය වැනි ක්ෂේත්‍ර දියුණු නොවීමෙන් ඔවුන්ට සතුටු වීමට මාර්ග නැති වෙලා තියෙනවා. ඒ නිසා මේකට විශාල මැදිහත්වීමක් අවශ්‍යයි කියලා මම අවබෝධ කර ගත්තා.

ඔබ දූෂණයෙන් තොර පිරිසක් තෝරා ගත්තොත් අපට ඔබ වෙනුවෙන් වෙන් කරන මුදල් බය නැතුව ඔවුන් අතට පත්කරන්න පුළුවන්. ඒ ඔබ වෙනුවෙන් ඔබේ ගමේ දියුණුව වෙනුවෙන් යොදවන්න. ඒ නිසයි ඔබේ තේරීම අපට වැදගත්.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT