Wednesday, April 23, 2025
Home » ඕනෑම ගෝලීය අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා

ඕනෑම ගෝලීය අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා

-‘ජය නියතයි - ගම අපිටයි’ දඹුල්ල ජන රැලියට එක්වෙමින් ජනපති කියයි

by sachintha
April 23, 2025 1:04 am 0 comment

පළමු වතාවට මහජනයාගේ මුදල් සතයක් නාස්ති නොකරන ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා

2025 වසර අපේ භාණ්ඩාගාරය වැඩිම ආදායම ලබන වසර බවට පත් කරනවා

රජය පුනර්ජනනීය බලශක්තියට වැඩි අවධානයක් යොමු කරනවා

කිසිම බලවත් රාජ්‍යයකට අපිව මිලදී ගන්න බැහැ

පොලිස්පතිතුමා පොලීසියට බයේ හැංගිලා හිටියා නීතිය කාටත් සමාන බව එයින් පේනවා

ලෝකයේ නිරන්තරයෙන් සිදු වන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මහජනයාගේ මුදල් සතයක් නාස්ති නොකරන ආණ්ඩුවක් පිහිටුවා තිබෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය වෙනුවෙන් සුබදායි සංඥා විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, පසුගියදා (20) දඹුල්ලේ පැවති ‘ජය නියතයි – ගම අපිටයි’ ජන රැලියට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා –

“මැයි 6 දා නැවත ඡන්දයක් තිබෙනවා. මේ ඡන්දය තියන්න තිබු‌ණේ 2023 වසරේදීයි. එහෙත් පැවති පාලනය ඡන්දය කල් දැම්මා. අපි ඒ වෙලාවේ අධිකරණය හමුවට ගියා.

අධිකරණය තීන්දු කළා ඡන්දය පවත්වන්න අවශ්‍යයි කියලා. එහෙත් මුදල් නැහැ කියලා මැතිවරණය කල් දැම්මා. අපි ආණ්ඩුව හැදුවට පස්සේ මැතිවරණ නියමිත වෙලාවට පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා. අපිට අවශ්‍යයි මේ ඡන්ද තියලා ඉවර කරන්න.

මේ වේලාවෙත් විපක්ෂ මන්ත්‍රීවරු ගිහිල්ලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලන්නේ ඡන්දේ කල්දාන්න කියලයි. මේ කාලය ප්‍රාදේශීය සභා, නගර සභාවල වැඩ කරන්න පටන්ගන්න තිබුණු කාලයයි.

සැප්තැම්බර් මාසේ 21 වැනිදා ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කළා. නොවැම්බර් මාසයේ 14 වැනිදා පාර්ලිමේන්තුව පිරිසුදු කළා. දඹුල්ල පරම්පරා ගාණක් පාලනය කරපු පාලකයන් ගෙදර යවා තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මේ පළාත් පාලන ආයතන සියල්ල ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න අවශ්‍යයි.

අප ආණ්ඩුවක් අරගෙන අවිධිමත් කාර්යභාරයක් කරන්නේ නැහැ. විනාශකාරි මාවතේ ගෙන යමින් තිබුණු අපේ රට සහ ජනතාව නැවත නිවැරදි මාර්ගයට හැරවිය යුතුයි. ඒ සඳහා විශාල වෙහෙසක් දැරිය යුතුයි.

අපේ රට ගොඩනැඟීමේදී රාජ්‍ය සේවයේ විශාල වෙනසක් අවශ්‍යයි. පහුගිය අය – වැය ලේඛනයෙන් රුපියල් බිලියන 1400ක් සංවර්ධන වැඩවලට වෙන්කර තිබෙනවා. එය ලංකා ඉතිහාසයේ සංවර්ධනය සඳහා වෙන් කළ වැඩිම මුදලයි. මේවා වියදම් කළ යුත්තේ රාජ්‍ය නිලධාරින්.

රට වෙනස් කිරීමේ ගමනේදී ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය වෙනස්කර තිබෙනවා වගේම රාජ්‍ය සේවයත් ගතානුගතික ක්‍රමයෙන් පරිවර්තනය කළ යුතුයි.

රාජ්‍ය සේවයේ අවම වැටුප වැඩිකර තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකර රටේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීම අවශ්‍යයි. රාජ්‍ය සේවයේ මේ වනවිට පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන තිබෙනවා. ඒවා මේ තරුණ තරුණියන්ට ලබා ගන්න මින්පසුව දේශපාලන අධිකාරිය පිටුපස යන්න අවශ්‍ය නැහැ.

මේ වසර ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය වැඩිම ආදායම ලබන වසර වේවි. මෙම මුදල් ප්‍රමාණය රාජ්‍ය ආයෝජනය ලෙස රටේ සංවර්ධනයට යොදා ගන්නවා.

අපේ රටේ විදුලි මිල වහින කාලයට අඩු වෙනවා. පායන කාලයට වැඩි වෙනවා. ඒ නිසා ස්ථාවර විදුලි බිලක් නොමැතිව ආයෝජකයන් මේ රටට පැමිණීමේ විශාල අකමැත්තක් දක්වනවා. ඒ නිසා රජය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ, පළමු වතාවට මහජනයාගේ මුදල් සතයක් නාස්ති නොකරන ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනයත් අලුත් විදිහට වෙනස් කළ යුත්තේ ඒ නිසයි.

කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු පාලකයන් සිටිය රටක් මේක. ආර්ථිකයෙන් මෙතරම් ප්‍රපාතයට වැටෙන්න වංචාව, දූෂණය හා නාස්තිය බලපෑවා. පළමු වතාවට වංචා – දූෂණ, නාස්තියෙන් තොර මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා වංචාව දූෂණයෙන් තොර ප්‍රාදේශීය දේශපාලන අධිකාරියක් සකස් කිරීම අවශ්‍යයි. ි

මේ වෙනස ඇති කරන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, නගර සභා සියල්ල එකට එකතු වී වැඩ කළ යුතු වෙනවා.

එනිසා මෙම පරිවර්තන ඇති කිරීමට අපි සියලු දෙනා පොරබැදිය යුතුයි. පොදුවේ පුරවැසියන්ට සහන සැලසෙන රටක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අප සියලු දෙනාම වසර දෙක තුනක් එක ලෙස කැපවීමෙන් වැඩ කළ යුතුයි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියට පමණක් නම් සංචාරකයන් පැමිණෙන්නේ එයින් අපට දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මාතලේ දිස්ත්‍රික්කයම සංචාරක කලාපයක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා සංචාරක සැලැස්මක් අප සතුව තිබෙනවා. දිවා රෑ නොබලා මේ රට ගොඩනැඟීම වෙනුවෙන් අප සැම දෙනා මහන්සි වෙනවා.

මේ රටේ ආර්ථිකය වෙනුවෙන් සුබදායි සංඥා විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව නිසි ක්‍රමවේදයකට ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵල ඉදිරියේදී රටට පෙනේවි.

මේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීම අරමුණු කරගෙන ජාතික ජන බලවේගය ආණ්ඩුව කැපවීමෙන් වැඩ කරනවා. කුමන බලවත් රාජ්‍යයකටවත් අපව මිලදී ගත නොහැකියි.

මන්නාරමේ සුළං බල ව්‍යාපෘතියක් තිබුණා. තිබුණු ආණ්ඩුව විදුලි ඒකකයක් ඩොලර් සත 0.82කට මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරලා තිබුණේ. අප ඩොලර් සත 0.82කට කැමැත්ත පළ කළේ නැහැ. රුපියල් 12ට ගන්න තිබෙන විදුලිය ඒකකය රුපියල් 25කට ගන්නේ ඇයි? අප සෑම තීන්දුවක්ම ගන්නේ ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලයි.

දඹුල්ලේ ඉන්දියානු ආධාර ඇතිව ශීතාගාරයක් ඉදි කළා. අප සෑම රාජ්‍යයකටම ගරු කරනවා. සෑම රාජ්‍යයක් සමඟම යහපත් සබඳතා පවත්වනවා. එහෙත් අපේ රටේ ජනතාවගේ සුබසිද්ධිය මත තමයි අප තීන්දු තීරණ ගන්නේ.

ජපන් රජයේත් ආරාධනයක් තිබෙනවා එරටට පැමිණෙන්න කියලා. අප පෞද්ගලික ප්‍රතිලාභයක් කිසිම රටකින් හෝ රාජ්‍යයකින් බලාපොරොත්තු වන්නේ නැහැ.

2028 වන විට අපි ණය ගෙවීම ආරම්භ කළ යුතුයි. ඒ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හොඳ මට්ටමකට ගෙන ඒම තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අපේක්ෂාව.

අද හතරගාතෙන් වැටිලා ඉන්න දේශපාලන කණ්ඩායම් ආණ්ඩුව ඔක්තෝබර් මාසේ වැටෙයි කියලා බලාගෙන ඉන්නවා.

එක්සත් ජනපදයේ බදු පැනවූ ගමන් විපක්ෂය උද්‍යෝගයෙන් හිටියා. එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා එය මාස තුනකින් කල් දැමුවාට පසුව විපක්ෂයේ කන් කඩන් වැටිලා.

අප කුඩා රාජ්‍යයක්. ලෝකයේ සමහර හැසිරීම් නිසා අපේ රාජ්‍ය බලපෑමට ලක් වෙනවා. එහෙත් අපි ලෝකයේ ඕනෑම තැනක සිදු වන අභියෝගාත්මක තීන්දුවලට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට අපේ රට පත් කරනවා.

ජාතික නිෂ්පාදනය වැඩි කිරීමට අප මුල්තැන දී තිබෙනවා. ජාතික උරුමයන්ට නැවත පණ දීමට අප කටයුතු කරනවා.

මේ කන්නයේ වී පිළිබඳ ප්‍රශ්නයක් ආව ද? අප වී ගබඩා කරන මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඕනෑම වෙලාවක වී මෙට්‍රක්ටොන් ලක්ෂ 3ක් ගබඩා කළ හැකි මධ්‍යස්ථාන රජය සතුව තිබෙනවා. නැවත කවදාවත් අපේ රටේ ගොවි ජනතාවගේ බවබෝග තුට්ටු දෙකට විකුණන්න දෙන්නේ නැහැ.

ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා කලාප ඇති කරමින් තිබෙනවා. නව ආර්ථික ක්‍රමවේදයකට මේ රට පරිවර්තනය කරමින් තිබෙනවා. අපි ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරමින් ඉදිරියට ගමන් කරනවා.

අපරාධ විමර්ශනය කර, අපරාධකරුවන් අධිකරණය හමුවට ගෙන ඒමට අප කටයුතු කරමින් තිබෙනවා. දඬුවම් දීම තිබෙන්නේ අධිකරණයටයි.

හිටපු ජනාධිපතිවරයාගේ ලොකු පුතාටයි, මද්දුම පුතාටයි නඩු පවරා තිබෙනවා. සමහරවිට ආච්චිටත් නඩු වැටෙයි. අධිකරණයේදී නඩුකාරතුමා ඒ පිළිබඳ තීන්දුවක් ගනීවි.

පසුගියදා නඩු තීන්දුවක් ආවා, වංචාව ලක්ෂ 26යි. දඬුවම අවුරුදු දාසයයි. එහෙම බැලුවම සමහරුන්ට දඬුවම් දෙන්න ගියොත් දඬුවම මේ ආත්මෙ ගෙවලා නිම කරන්න බැරි වේවි.

මේ රටේ පහුගිය කාලයේදී පාලකයන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඇමැතිවරු වාහන ලියාපදිංචි නොකර ධාවනය කරලා. එහෙත් පොඩි මිනිහා වාහන ලියාපදිංචි නොකර බයිසිකලේ පාරට දාන්න බැරිව ඉන්නවා. අන්න, ඒ නිසා තමයි හැම කෙනාටම නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් පැමිණියේ.

පොලිස්පතිතුමා පොලීසියට බයේ හැංගිලා හිටියා. නීතියක් කාටත් සමාන බව එයින් පේනවා. එහෙම රටක් ඕනෑ නැද්ද?

රාජ්‍ය සේවයේත් අප හඳුනාගත් වෙනස්කම් කරන්න අවශ්‍යයි. මේ රට ගොඩනඟන වගකීම නිසි ලෙස ඉටු නොකරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබන මාසයෙන් පසුව අප ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විධායකය, පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන එකට තිබිය යුතුයි.

දූෂණය හා වංචාව නැතිකර නිවැරදි පාලන ක්‍රමයක් අප නිර්මාණය කරනවා. ජනතාව ජාතික ජන බලවේගය විශ්වාස කරලා ඡන්දය ලබා දෙනවා. අපේ මන්ත්‍රීවරු ඒ ජනතාවගේ විශ්වාසය පළුදු නොකර වැඩ කළ යුතුයි. මේ මහා සංග්‍රාමයේ කොටස්කරුවන් වන මෙන් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.

උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය

ඡායාරූප – චන්න ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT