Wednesday, April 23, 2025
Home » යුක්රේනය සමඟ සෘජු සාකච්ඡාවකට රුසියානු ජනපති පළමුවරට කැමැත්ත දෙයි

යුක්රේනය සමඟ සෘජු සාකච්ඡාවකට රුසියානු ජනපති පළමුවරට කැමැත්ත දෙයි

by sachintha
April 23, 2025 1:00 am 0 comment

යුක්රේන යුද ගැටුම් ආරම්භවීමෙන් පසු පළමු වතාවට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේන ජනපති සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සූදානම් බවට ඉඟි පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා රුසියානු රජයේ රූපවාහිනියෙන් අදහස් දැක්වූ රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම සාම ප්‍රවේශයකට ධනාත්මක අපේක්ෂාවකින් යුතුව පසුවන බවය. එමෙන්ම තම අදහස යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිට අවබෝධ වනු ඇතැයි ද පුටින් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු සිවිල් ඉලක්කවලට පහර නොදීම සම්බන්ධව යුක්රේනය සමඟ සෘජු සාකච්ඡාවට ඇති කැමැත්ත බව රුසියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

පසුගිය පාස්කු ඉරිදා සැමරුම් සඳහා රුසියාවේ මෙන්ම යුක්රේන ජනතාවට ද අවස්ථාව ලබාදීම සඳහා එක්දින සටන් විරාමයක් කැඳවීමට ද රුසියානු ජනාධිපතිවරයා පළමුවරට පියවර ගෙන තිබූ අතර, එම කාල සිමාව තුළ රුසියානු හමුදාවෙන් යුක්රේනයට ප්‍රහාර එල්ල වූ බවට පසුව යුක්රේන ජනාධිපතිවරයා චෝදනා එල්ල කර තිබිණි.

කෙසේ වුවද ඊයේ දිනයේදී ද රුසියානු හමුදාව යුක්රේනයට ප්‍රහාර එල්ල කර ඇති බවත්, යුක්රේනයේ සපෝරිෂියා නුවර මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ එම ප්‍රහාරවලින් කාන්තාවක්, දරුවන් දෙදෙනකු ඇතුළු සිවිල් වැසියන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT