Wednesday, April 23, 2025
Home » ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයෝ සොව පළ කරති

ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයෝ සොව පළ කරති

by sachintha
April 23, 2025 1:11 am 0 comment

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු සමාජ මාධ්‍යජාලා ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ ශෝක ප්‍රකාශවලින් පිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ලෝක රාජ්‍ය නායකයන් රැසක් ද පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාප් වහන්සේ ස්වර්ගස්ථ වූයේ සියලුදෙනාටම සාධාරණ ලෝකයක් වෙනුවෙන් දැරූ නොපසුබට උත්සාහය ඉතිරි කරමින් බව බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කර ඇති අතර, මීට සති දෙකකට පෙර සිය ඉතාලි සංචාරය අතරතුර පාප් වහන්සේ මුණගැසීමට අවස්ථාවක් ලද චාල්ස් රජු සහ කැමිලා රැජන උන්වහන්සේගේ අභාවයෙන් දැඩි කම්පාවට පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ‘වසර ගණනාවක් පුරා ශුද්ධෝත්තම පියතුමා හමුවීම් සහ සාකච්ඡා කිරීම් අප ආදරයෙන් සිහිපත් කරන අතර, මීට සති දෙකකට පෙර උන්වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබීම අප කම්පනයට පත් කළ සිදුවීමක්’ චාල්ස් රජුගේ ශෝක ප්‍රකාශයේ එසේ සටහන් වී තිබේ.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු ශෝක ප්‍රකාශයක් නිකුත් කළ පළමු රාජ්‍ය නායකයා වන අතර, උන්වහන්සේ ඉතා නිහතමානී පුද්ගලයකු බව ඔහු ප්‍රකාශ කර තිබේ. පාප් වහන්සේගේ අභාවයෙන් මොහොතකට පසු ධවල මන්දිරය වසර 2017දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලනියා ට්‍රම්ප් පාප් වහන්සේ සමඟ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යජාලයට නිකුත් කළ අතර, ‘ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාදානයේ සැතපේවා’ යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ද ශෝක ප්‍රකාශයක් සටහන් කර තිබේ. ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චේස්, ඉතාලි අගමැතිනිය ජෝර්ජියා මෙලොනි, යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේයන් සහ ඊජිප්තු ජනාධීපති අබ්දුල් ෆටා ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් අඛණ්ඩව ශෝක ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT