හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ පිහිටි බස් නැවතුම්පොළ තුළ කොළඹට එළවළු සපයන කොන්ත්‍රාත්කරුවන් විසින් එළවළු මලු ගොඩගසා ඇති නිසා, මගීන් දැඩි ලෙස පීඩාවට පත්වී ඇත.
ඩයගම, ආගරපතන යන ප්‍රදේශවල සිට කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ රාත්‍රී කාලයේ පැමිණෙන තෙක් හැටන් ප්‍රදේශයේ එළවළු එකතු කරන කොන්ත්‍රාත්නරුවන් විසින් කුඩා ලොරි රථවලින් සහ ත්‍රිරෝද රථවලින් එළවළු මලු රැගෙනවිත් එම බස් නැවතුම්පොළ තුළ සහ ඉන් පිටත එළවළු ගොඩගසා තිබීම හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට තම බස් රථය පැමිණෙන තුරු බස් නැවතුම්පොළෙන් පිටත පවතින අයහපත් කාලගුණය ද නොතකා රැඳී සිටීමට සිදු වී ඇත. තවද කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ, බස් නැවතුම්පොළේ ගොඩගසා ඇති එළවළු මලු, ලොරි රථයට නංවා ගැනීම සඳහා බස් නැවතුම්පොළ අවහිර වන පරිදි ලොරි රථ ගාල් කර තැබීම හේතුවෙන් මගීන් තව ලෙසකින් පීඩාවට පත් වී ඇත.
එම බස් නැවතුම්පොළ කේන්ද්‍ර කර ගනිමින් එළවළු එක්රැස් කිරීම සහ ප්‍රවාහනය කිරීම හේතුවෙන් එම බස්නැවතුම්පොළ තුළ දිවා කාලයේ රැඳී සිටීමට නොහැකි වන ආකාරයට අපිරිසුදු වී ඇත.
හැටන් නගරයේ වෙළෙඳසල්වල සේවය කරන විශාල පිරිසක් සේවය අවසන්වීමෙන් පසු තම නිවෙස්වලට යෑමට බස් රථයක් හෝ වෙනත් වාහනයක් පැමිණෙන තෙක් එම බස් නැවතුම්පොළේ රැඳී සිටියි. පවත්නා තත්ත්වය මත බස් නැවතුම්පොළේ දැඩි දුර්ගන්ධයක් ද හමන නිසා එම සේවකයින්ට බස් නැවතුම්පොළේ රැඳී සිටීමට නොහැකි වී ඇත.
රංජිත් රාජපක්ෂ
හැටන්