Wednesday, April 23, 2025
Home » කෙමෙන් ගිලිහෙන තෙලිඟු ජන සංස්කෘතිය

කෙමෙන් ගිලිහෙන තෙලිඟු ජන සංස්කෘතිය

by sachintha
April 23, 2025 1:40 am 0 comment

ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතින්ට අයත් ජන කොට්ඨාස ජීවත් වෙති. එහිදී සුවිශේෂ අනන්‍යතාවකට හිමිකම් කියන ජන සමූහයක් ලෙස තෙලිඟු ජනතාව හැඳින්විය හැකිය. ලංකාවේ ප්‍රදේශ කිහිපයක තෙලිඟු ජනතාව ජීවත් වන අතර වැඩි පිරිසක් ජීවත් වන්නේ තඹුත්තේගම කුඩාගම තෙලිඟු ගම්මානයේ ය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම නගරයේ කුඩාගම ප්‍රදේශයේ ජන උදාන ගම්මානයක් ඉදි වන්නේ 1981 වර්ෂයේදීය. වර්තමානය වන විට මෙම ගම්මානයේ පවුල් 450කට අධික ප්‍රමාණයක් තෙලිඟු ජනතාව ජීවත් වෙති.

කුඩාගම තෙලිඟු ජනයාගේ භාෂාව දකුණු ඉන්දීය තෙලිඟු භාෂාවට වඩාත් සමීපය. වැඩිහිටි සමාජය තවමත් මඳ වශයෙන් තෙලිඟු භාෂාව භාවිත කරන අතර නව පරපුර භාවිත කරනුයේ සිංහල භාෂාවය.

මෙම සමාජය මෙහෙයවන වෙනම නායකයෙක් සිටින අතර ඔහු ආරච්චිල ලෙස හඳුන්වයි. නයි නැටවීම, රිළවුන් නැටවීම, සාස්තර කීම මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියා වන අතර කෘෂිකර්මාන්තයේ නියැළීම ද මොවුන් සිදු කරයි. වර්තමානයේ කුඩාගම ගම්මානයේ මෙම සාම්ප්‍රදායික රැකියාවල නිරත වන්නේ සුළු පිරිසකි. තරුණ ප්‍රජාව විවිධ රැකියා ක්ෂේත්‍රවලට යොමුවී තිබෙන ආකාරයක් දැකගැනීමට හැකිය. එයට හේතුව වන්නේ පවතින සමාජ ක්‍රමයට අනුව මොවුන් හැඩගැසීමය.

අතීතයේ සිට පැවත එන සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර තුළ ඔවුන්ටම ආවේණික වූ අනන්‍යතාවක් පවතී. උත්පත්තියේ සිට මරණය දක්වා ම විවිධ අවස්ථා හා බද්ධ වූ චාරිත්‍ර වාරිත්‍ර මෙහිදී දැකගත හැකිය. තෙලිඟු ජනයා “කිල්ල” නම් සංකල්පය විශ්වාස කරන ජන කොටසක් වන අතර වැදුම් කිල්ල මේ අතරින් වඩාත් බලවත් බව ඔවුන් විශ්වාස කරයි.

උපත හා සම්බන්ධ සාම්ප්‍රදායික චාරිත්‍ර ගත් කල දරුවා ලැබීමට ආසන්න කාලයේ රැහේ වින්නඹු මාතාව සමඟ ඇය වෙනම ම කූඩාරමක තැබීමට කටයුතු සලසයි. එවන් ආවතේවයන්ට ලක් කරනුයේ කුලුඳුල් දරුවකු ලබන මවුවරුන්ය. එමෙන්ම ඇයට මත්පැන් පානය කිරීම තහනම් වන අතර දරුවා ලැබුණ පසු “කායම්” නම් පානයක් ලබා දෙයි.

වර්තමානයේ දරු ප්‍රසූතියක දී රෝහල හා සම්බන්ධ වන මොවුන් ප්‍රසූතියෙන් පසුව එම මවට දින තුනක් යන තුරු ගම්මිරිස් හොද්ද ආහාරයට ලබා දෙයි. දේශීය බෙහෙත් වට්ටෝරුවක් තම්බා මිරිකා ඉස්ම ගෙන දින තුනක් පමණ පානයට ලබා දෙයි. ප්‍රසූත වේදනාව අවසන් වූ පසු දින කිහිපයකින් ස්ත්‍රිය කොළ අතු තැම්බූ වතුරෙන් ස්නානය කරවයි.

අතීතයේ මරණයක් සිදු වූ විට දේහය දින දෙකක් පමණ තබා ගන්නා අතර ලී දඬුවලින් සාදන ලද මැස්සක මළමිනිය තබා ඊට උඩින් දෙපැත්තේ ලී කෑලි දෙකක් තබා බැඳ මළමිනිය ඔහු පාවිච්චි කළ රෙද්දකින් වසා කැලයට ගෙන ගොස් දමයි. පසුව ඔවුන් එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ගමන් කරයි. එකල භූමිදානයට නිශ්චිත ස්ථානයක් නොතිබුණ ද අද වන විට ඔවුන්ට කුඩාගම ගම්මානයේ පොදු සුසාන භූමියක් ඇත. බෞද්ධ, කතෝලික ආගමික චාරිත්‍රානුකූලව අවමංගල කටයුතු සිදු කරයි.

වෘක්ෂ වන්දනාව, මළවුන් ඇදහීම වැනි ඇදහිලි පුද පූජා සිදු කරනු ලැබූ තෙලිඟු ජනයා අද වන විට සාම්ප්‍රදායික ඇදහිලිවලින් මිදී පන්සල් හා පල්ලිවල ආගමික කටයුතුවලට සහභාගි වන බව ආරච්චිල ලෙස හඳුන්වන පොඩි මහත්තයා පවසයි.

අතීත පරම්පරාව තම ජන කොටස තුළින්ම විවාහ වූ අතර නෑනා – මස්සිනා විවාහ බහුලව සිදු විය. නමුත් වර්තමාන තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. සිංහල, දෙමළ ජන කොටස්වලින් ද විවාහයන් සිදු වේ. එසේ වුවහොත් එම පුද්ගලයා කුලයෙන් නෙරපා දැමීම පැරණි චාරිත්‍රයක් වුවත් වර්තමානයේ එය ක්‍රියාත්මක නොවේ.

වරිග සභාව තෙලිඟු ජනයාගේ තීරණ ගන්නා ප්‍රධාන සභාවයි. ඔවුන් අතර පැනනඟින ආරවුල් නඩුහබ ඔවුන් විසින්ම විසඳා ගනු ලබයි. වැරදි කරන අයට දඬුවම් පමුණුවන්නේ ආරච්චිලගෙන් සමන්විත කමිටුව විසින්ය. අතීතයේ ශාරීරික දඬුවම් දුන්නද වර්තමානයේ දඩ නියම කිරීම හෝ අවවාද කිරීම ප මණක් සිදු කරයි. එකල කුඩාගම තෙලිඟු ගම්මානය දුෂ්කරතා රැසකට මුහුණ දුන් ගම්මානයකි. නමුත් අද වන විට එහි විශාල වෙනසක් දැකගත හැකිය. ගම්මානයේ දරුවන් උසස් අධ්‍යාපනය හදාරනවා පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල රැකියාවලට ද පිවිසෙමින් සිටියි. මෙය කුඩාගම ජනතාවගේ ජීවිතවලට නව බලාපොරොත්තු ගෙන එන සාධකයකි.

තරුණයින් සාම්ප්‍රදායික රැකියාවල නිරත වීමට දක්වන්නේ අඩු උනන්දුවකි. ඔවුන් නව සමාජයට අනුවර්තනය වෙමින් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී සමාජයේ යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනු ලබයි.

ජනේෂා රත්නමලල

කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT