Wednesday, April 23, 2025
Home » සුද්දා හැදූ පුරාණ වැව අනතුරේ

සුද්දා හැදූ පුරාණ වැව අනතුරේ

by sachintha
April 23, 2025 1:36 am 0 comment

මහවැලි එච් කලාපයේ එප්පාවල, හුරීගස්වැව ගම්මානයේ පිහිටි පුරාණ මහවැව ජපන්ජබර සහ රොන්මඩ පිරී ගොඩවීම හේතුවෙන් සිය ජීවනෝපාය අනතුරකට වැටී ඇති බව ගොවීහු පවසති. 1885 වර්ෂයේ දී තරම් දුරාතීතයේදී මෙම වැව ඉදිකොට ඇතැයි ගැමියෝ සඳහන් කරති. අක්කර 350ක පමණ විශාලත්වයකින් යුතු මෙම වැවේ තුන්කාලක් පමණ මේ වනවිටත් ජපන්ජබර වැවී ගොඩවී තිබේ. රොන්මඩ එකතු වීම හේතුවෙන් වැව මුළුමනින්ම ගොඩවීමේ අවදානමක් මතුව ඇති බව ද ගොවීහු පෙන්වා දෙති. වැව් බැම්ම ද දැඩි ලෙස වළ ගොඩැලි මතුවී අබලන් වී ඇත. හුරීගස්වැව පුරාණ වැව ගොවි සංවිධානයේ සභාපති “උපාලි දිසානායක” මහතා මෙසේ අදහස් දැක්වුවේය.

“මේ වැව සුද්දාගේ කාලේ හදපු එකක්. ඒ කාලේ හදපු පුරාණ ගල් හොරොව්වෙන් තමයි තාමත් වෙල් යායට වතුර ගන්නේ. වැවේ හොරොව් හතරක් තියෙනවා.

මෙහෙම වැවක් මේ මහවැලි කලාපෙම නෑ. අපි දන්න කාලේ ඉඳන් පරම්පරා දහයක් විතර මේ වැවෙන් කුඹුරු කරලා ජීවත් වුණා. මහවැලිය ආවට පස්සේ මේ වැව් ගැන තිබ්බ සැලකිල්ල නැතිවුණා. වැවට කියලා අමුතුවෙන් වතුර එන තැනක් නෑ. වෙල්පහු වතුරයි, වැහි වතුරයි තමයි වැවට එකතු වෙන්නේ. වැව හදලා දුන්නොත් තවත් පරම්පරා ගාණක් මේ වැවෙන් ජීවත් වෙයි.”

වැව යටතේ කුඹුරු අක්කර 150ක් පමණ යල – මහ දෙකන්නයේ වගාවන් සිදුකරන බව ගැමියෝ පවසති. වැව මුළුමනින්ම ජපන්ජබර ගොල්ලකින් වැසී යෑම හේතුවෙන් වැව් තොටුපළ ද ගොඩවී තිබේ. මේ හේතුවෙන් ස්නානය කිරීම ආදී කටයුතු සඳහා ද වැවේ ජලය භාවිත කළ නොහැකි වී ඇති බව ගැමියෝ පවසති.

පළපුරුදු ගොවියෙකු වන “ගුණරත්න දිසානායක” මහතා මෙසේ පැවසුවේය.

“අපේ අප්පච්චිලා ඒ කාලේ බොන්න පවා වතුර ගත්තේ මේ වැවෙන්. දැන් හදිසියට වැවට බැහැලා නාගන්නවත් විදිහක් නෑ. මුළු වැවම ජපන්ජබරවලින් වැහිලා තියෙන්නේ. අඩුම ගානේ වැවෙන් හරකෙකුට වතුර ටිකක් බොන්න විදිහක් නෑ. දැන් සම්පූර්ණයෙන්ම වගේ වැව ගොඩවේගෙන එන්නේ. නිල් කැටේට වතුර තිබ්බ වැව මේ විදිහට තියෙනවා දැක්කහම පුදුම දුකක් දැනෙන්නේ.”

ඩබ්ලිව්. ප්‍රදීප්

තඹුත්තේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT