ශ්රී ලංකාවේ සංවිධානාත්මකව පැවැත්වූ මුල් ම වැඩ වර්ජනය ඇරඹුණේ 1893 සැප්තැම්බර් මස 12 වැනිදාය. ඒ කොළඹ කේව් මුද්‍රණ සමාගමේ ය. එය අයත් ව තිබුණේ ප්‍රකට ලේඛකයකු වූ හෙන්රි කේව් ටය. වර්ජනයට කම්කරුවන් 60 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඒ. ඊ. බුල්ජන්ස් මෙම වැඩ වර්ජනය සංවිධානය කිරීමේ පුරෝගාමියා විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල්ම කම්කරු නායකයා ලෙස පිළි ගැනෙන්නේ ඒ.ඊ. බුල්ජන්ස් ය.
20 සියවස මුලදී පෙරට ආ යටත් විජිත විරෝධය, කම්කරු පන්ති උද්ඝෝෂණ හා කාන්තා අයිතීන් ආදී ව්‍යාපාර බොහොමයක බුල්ජන්ස් නාමය ද පෙරමුණේ තිබේ. උපතින් බර්ගර් ජාතිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් අර්නස්ට් බුල්ජන්ස් ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගොස් 1887 දී උපාධිය ලැබූ අයෙකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිටියදී ක්‍රිස්තියානි ආගම අත් හළ අතර, 1888 දී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු බෞද්ධාගම වැලඳ ගත්තේය. බෞද්ධාගම වැලඳ ගැනීමෙන් පසුව ක්‍රිස්තියානි විරෝධි පුවත්පතක් වූ බෞද්ධයා නමැති සටන්කාමි සතිපතා නිකුත් වන ඉංග්‍රීසි පුවත්පතෙහි කතෘවරයා ලෙස කටයුතු කළේය.
බ්‍රිතාන්‍යයේ දී වෘත්තිය සමිතිවාදය පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබා සිටි බුල්ජන්ස් බෞද්ධාගම් කටයුතුවලට අමතරව කොළඹ නගරයේ වෙසෙන කම්කරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට ද උනන්දු විය. කම්කරුවන්ට වෘත්තීය සමිතියක් තුළ සංවිධානය වීම යෝග්‍ය බව ඔහුගේ අධ්‍යයනයන් තුළින් තීරණය කළේය.
එසේම කම්කරු ප‍්‍රශ්න පළමුවෙන්ම සාකච්ඡා කරන ලද්දේ ලිස්බෝ පින්තු සංස්කරණය කරන ලද “ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික්” සඟරාවෙනි. 1893 ජූලි මාසයේදී බුල්ජන්ස් මෙම සඟරාවේ ලිපියක් පළ කළ අතර එම ලිපියේ අරමුණ වූයේ, කම්කරුවාට තමන්ගේ ශක්තිය හා අයිතිවාසිකම් දිනාගන්නා අයුරු පෙන්වා දීමය. ඒ අනුව කම්කරු සමිති ගොඩනඟා ඒ තුළින් සටන් කර පාලකයන් දණ ගැස්විය හැකි බව හා ලෝකයේ කම්කරු සටන් පිළිබඳවත් එම ලිපියෙන් පැහැදිලි කර දුන්නේය. මෙම ලිපිය කම්කරුවන්ට කරන ලද ආයාචනයක් බඳු වූ අතර ඒ සඳහා ප‍්‍රතිචාර අයහපත් විය. නමුත් නොකඩවා බුල්ජන්ස් විසින් ගෙන ගිය ප‍්‍රචාරය නිසා “එච්. ඩබ්ලියු. කේව් සමාගමේ” මුද්‍රණ අංශයේ කිහිප දෙනෙකු සාකච්ඡාවක් සඳහා සූදානම් කර ගැනීමට ඔවුන්ට හැකි විය. කේව් ආයතනය ඉංග‍්‍රීසීන් සතුව කොළඹ නගරයේ පිහිටි විශාලම මුද්‍රණ සමාගමය.
මේ වන විට කේව් සමාගමේ වැටුප් ප‍්‍රශ්නයක් ඇති වී තිබිණි. ඒ අනුව සේවකයන්ට වැටුප් ගෙවීම ක‍්‍රමවත් නොවූ අතර ප‍්‍රමාද වීම්ද ඇති වී තිබිණි. තවද සේවකයන්ට ලැබුණේ පහළ මට්ටමක වැටුපකි. ඇතැම් කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 11 තරම් පහළ මට්ටමක පැවතුණි. මීට අමතරව ප‍්‍රමාදවී වැඩට පැමිණීම, සේවා වැරදි සහ අතපසුවීම්වලදී දඬුවම් ලෙස දඩ ගැසීම, වෘත්තීයේ ස්වභාවය නිසා ඇති වන වෙහෙසා ශාරීරික පීඩා සහ වැඩිදෙනා ජීවත්ව සිටි මුඩුක්කු පරිසරය වැනි හේතූන් නිසා කම්කරුවන් අතර පැවතුණේ දැඩි පීඩනයකි. වැටුප් වැඩි කිරීම පිළිබඳවත් වැටුප් ගෙවීම ප‍්‍රමාද නොකර ක‍්‍රමවත්ව ගෙවන ලෙසටත් හා සේවක සුබසාධනය පිළිබඳවත් ඉල්ලීම් කේව් සමාගමට ඉදිරිපත් කළ මුත් පාලනාධිකාරිය විසින් එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලදි.
1893 සැප්තැම්බර් මාසයේදී කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවෝ තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සියලු සේවාවන් නවත්වා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මුද්‍රණ කම්කරුවන් වෙනුවෙන් කළ මෙම සටනේ දී, බුල්ජන්ස් විසින් කතෝලික පල්ලියට ද අභියෝග කරන ලදී. ශ‍්‍රී ලංකාවේ සංවිධානාත්මක පළමු වැඩ වර්ජනය මෙය වුවත් වර්ජනය මෙහෙයවීමට කම්කරු සමිතියක් හෝ කමිටුවක් හෝ පිහිටුවා ගෙන නොතිබුණි. එබැවින් වැඩ වර්ජනයේ දෙවැනි දිනයේදී බුල්ජන්ස් විසින් ප‍්‍රසිද්ධ රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලදී. එම රැස්වීමේ අරමුණ වූයේ කම්කරු ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනා ගැනීමට මෙන්ම සමිතියක් වශයෙන් එකමුතු වීම තුළින් සටන ශක්තිමත් වන ආකාරය පහදා දීමය. රැලිය ඇරඹීමට පෙර බුල්ජන්ස් ගේ මූලිකත්වයෙන් කම්කරු සමිතිය පිහිටුවන ලදී. එය ශ්‍රී ලංකාවේ පළමු කම්කරු සමිතිය යි.
එම්. තාරික්