Wednesday, April 23, 2025
Home » ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙනවා

ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙනවා

-ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න

by sachintha
April 23, 2025 2:01 am 0 comment

මේ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍යයි

ඩිජිටල් අත්සන රජයේ සෑම නිලධාරියකුටම

ජනතාවට ඉදිරියේදී කොළ පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ

රටේ සියලු ගනුදෙනු ඩිජිටල්කරණය විය යුතුයි

ඩිජිටල් ආදායම් ආර්ථිකයක් නිර්මාණය කිරීමට ගෙන ඇති පියවර සහ මහජනතාවට කාර්යක්ෂම සේවාවන් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය සේවා ඩිජිටල්කරණය ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

* ඩිජිටල් ආදායම් ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද ?

රටේ ආර්ථිකයේ විශාල පංගුවක් ඩිජිටල් ආර්ථිකයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ නඟනවා කියන එක ජනාධිපතිවරණ සමයේ සිටම අපි කියූ දෙයක්. එහි එක් පියවරක් ලෙස මෙරට ප්‍රථම වතාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් පිහිටෙව්වා. ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ ආයතන වෙනත් වෙනත් අමාත්‍යාංශ යටතේ තමයි පැවැතුණේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ශ්‍රී ලංකා හදිසි පරිගණක කැඳවීම් සංසදය තිබුණෙත් වෙනම අමාත්‍යාංශයක් යටතේ. මේ ආකාරයට වෙන් වෙන්ව තිබූ ආයතන සියල්ල ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ගත්තා.

මේ රටේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනඟන්න නම්, ඒ වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍යයි. ඒ සඳහා රට තුළ අධිවේගී අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕනෙ. ඒ නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් එකත් දැනට තියෙන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනයක් හැටියට. ඊට අමතරව දත්ත ආරක්ෂණ අධිකාරිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයත් තියෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඩිජිටල් ආර්ථික අධිකාරිය ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය පසුගිය රජය කැබ්නට් තීන්දුවකින් වසා දමන්න තීරණය කළ ආයතනයක් ලෙසයි පැවතුණේ.

අනෙක ඩිජිටල් ආර්ථිකයක් ගේනවා නම් මහජනතාව ඩිජිටල්කරණයට ලක් කර ගන්න ඕනෙ. ඒ සඳහා DIGITAL ID කියන එක අනිවාර්යයෙන්ම අපේ ළඟ තියෙන්න වෙනවා. ඒක තමා මහජනතාව ඕනෙම තැනක DIGITALLY හඳුනා ගැනීමට තියෙන අංගය වෙන්නේ. වසර දොළහක් වගේ ඇදි ඇදී තිබූ DIGITAL ID ව්‍යාපෘතිය කඩිනම් කරන්න ඕනෙ නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට අරන් තියෙනවා. හැකි ඉක්මනින් DIGITAL ID ජනතාවට ලබා දීමට කටයුතු කරනවා.

* මහජන සේවා කඩිනම් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවා ඩිජිටල්කරණය ‍ සඳහා වන සැලසුම් මොනවාද ?

මේ රටේ ඩිජිටල් ආර්ථිකය ගොඩනඟන්න කුලුනු පහක් අපි සඳහන් කළා. මෙහි වැඩපිළිවෙළ දෙකක් තියෙනවා. එකක් කොහොමද මේ ඩිජිටල් ආර්ථිකය ගොඩනඟන්නේ කියන එක. ඒ සඳහා මුලින්ම රට තුළ ඩිජිටල් යටිතල පහසුකම් ටික ගොඩනඟන්න ඕනෙ. ඩිජිටල් යටිතල පහසුකම් කියලා ගත්තාම රජයේ ආයතන සියල්ලට මුල ඉඳලා දත්ත ගබඩා ගෙනත් වැඩ කරන්න කාලයක් නෑ. ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. ඊළඟට රජයේ ආයතන අතර තියෙන දත්ත හුවමාරුව සඳහා රාජ්‍ය ජාල පද්ධතියක් (GOVERNMENT NETWORK) ගේන්නත් කටයුතු කරනවා. මේ කරුණු මූලික කර ගත් යටිතල පහසුකම් හදනවා.

මේ තුළින් ජනතාවට කඩිනම් සේවාවන් ලබා දෙනවා. ඩිජිටල් ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ යටතේ සුපිරි යෙදවුමක් (SUPER APP) හඳුන්වා දෙනවා. ඒ වගේම පුරවැසියන්ගේ පුද්ගලික දත්ත තබා ගත හැකි ඩිජිටල් අවකාශයක් (DIGI LOCKER) හම්බවෙනවා.

ඩිජිටල් ආර්ථිකයත් එක්ක එන විශාල වෙනස්කම් දෙකක් ලෙස මුදල් රහිත (CASHLESS) සහ කඩදාසි රහිත (PAPERLESS) හැඳින්විය හැකියි. කඩදාසි ඉවත් කරන්න බැරි ලොකුම බාධකය තමයි අත්සන නැතිකම. ඩිජිටල් අත්සන ලෝකයේ භාවිත වෙනවා. අපේ රටෙත් සමහර තැන්වල මෙය භාවිත වෙනවා. ඩිජිටල් අත්සන සෑම රජයේ ආයතනයකම සෑම රජයේ නිලධාරියකුටම ලබා දෙනවා. ඒ කියන්නේ ග්‍රාම නිලධාරිවරයාගේ තත්ත්වයේ ඉඳලා ඩිජිටල් අත්සන ලබා දෙනවා. ඉදිරියේදී රටේ ජනතාවට කොළ පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ.

ඩිජිටල් ආර්ථිකය රාජ්‍යකරණයට අරන් එනවා. රාජ්‍ය ආයතනවලට අමතරව සංචාරක සහ ප්‍රවාහන වගේ ක්ෂේත්‍රවලටත් මේ ඩිජිටල්කරණය අරන් යනවා. දැනට ඩොලර් මිලියන 3.5ක් වගේ තියෙන ඩිජිටල් ආර්ථිකය ඩොලර් මිලියන 15කට යනවා. මේ ඩිජිටල් ආර්ථිකයෙන් සාමාන්‍යයෙන් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 12%කට වැඩිය ප්‍රමාණයකට යන්න පුළුවන්. අනෙක රජය විසින්ම හඳුන්වා දෙන ඩිජිටල් සහතිකයක් ගේන්න ඕනෙ. ඩිජිටල් පමණයි නම් ඩිජිටල් පමණක්ම විය යුතුයි. ඩිජිටල් ආර්ථිකය ඉහළට යන්න නම් මේ රටේ සියලු ගනුදෙනු ඩිජිටල්කරණය විය යුතුමයි.

ඩිජිටල්කරණය පොදු ජනතාවට ලබා දෙන්නේ කොහොමද ?

මේ සඳහා API හඳුන්වා දෙනවා. ඕනෑම ආයතනයකට API හරහා දත්ත ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ජංගම යෙදවුමක් (MOBILE APP) ලැබෙනවා. වෙබ් අඩවි (WEBSITE) හම්බවෙනවා. රටේ පොදු ජනතාවට මේ ඩිජිටල් සේවා ප්‍රවේශය (DIGITAL SERVICE ACCESS) වෙනුවෙන් ලබා දිය හැකි සෑම පහසුකමක්ම දෙන්න කටයුතු කරනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට නම් ඒ සඳහා මනා දැනුමක් සහ පුහුණුවක් ලැබූ නිලධාරීන් පිරිසක් සිටිය යුතුයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකද ?

මේ රට තුළ සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් ඉන්නේ 85,000ක් වගේ ප්‍රමාණයක්. මේ පිරිස මේ වසර පහ ඇතුළත ලක්ෂ දෙකක් දෙකහමාරක් දක්වා වැඩි කර ගන්න ඕනෙ. මේ සඳහා ධාරිතා ගොඩනැඟීම (CAPACITY BUILDING) කියලා වෙනම වැඩසටහනක් කරගෙන යනවා. විශ්වවිද්‍යාලවලින් විතරක් මේ ප්‍රමාණය සම්පූර්ණ කරගන්න බෑ. නව ක්‍රමවේදයක් මේ සඳහා අවශ්‍යයි.

මේ පුහුණු කිරීම් කණ්ඩායම් විදිහට සිදු කරනවා. රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වැඩ කරන්න පිරිසක් හිටියත් ඒක මෙහෙයවන්න කෙනෙක් නෑ. ඒ නිසා ඩිජිටල් සේවාවලට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් කරගෙන යනවා.

දඩ මුදල් ගෙවීම ඩිජිටල් මාධ්‍ය හරහා ගව්පේ (GOVPAY) ක්‍රමයට සිදු කිරීමේ නියමු ව්‍යාපෘතිය දැන් ආරම්භ කර තිබෙනවා. මේ ගැන පැහැදිලි කරමු.?

වසර ගණනාවක් පුරා මේ ක්‍රමය තිබුණත් එහි පහසුකම් ජනතාවට අත්විඳින්න අවස්ථාවක් ලැබුණේ නෑ. GOVPAY කියන ක්‍රමය හඳුන්වා දුන්නේ ලංකා පේ ආයතනයයි. පසුගිය පෙබරවාරි හත්වෙනිදා GOVPAY ජනතාවට හඳුන්වා දුන්නා. ඒ වෙනුවෙන් මූලිකවම ආයතන 18ක් සම්බන්ධ වුණා. මේ වන විට එම ආයතන සංඛ්‍යාව 38ක් දක්වා වැඩි වෙලා තියෙනවා.

පොලිස් දඩ ගෙවීමේදී තමන්ගේ ගිණුම තියෙන ඕනෑම බැංකුවක මොබයිල් ඇප් එක ඇතුළෙ රජයේ ගෙවීම් කියලා කොටසක් තියෙනවා. එතැනට ගියාම පොලිස් දඩ ගෙවීම කියලා එනවා. පසුව තමාට දඩය ලියූ පොලිස් ස්ථානය සඳහන් කර දඩ කොළයට අදාළ මුදල තෝරාගෙන තමන්ගේ ගිණුමෙන් මුදල් බැර කිරීම සිදු කළ හැකියි. ඒ වෙලාවේම පොලිස් නිලධාරියා අතේ තියෙන ජංගම දුරකතනයට SMS පණිඩිඩයක් ලැබෙනවා, මේ මුදල ගෙවලා තියෙන්නේ කියලා. පොලිසි ගාණේ යන්න තැපැල් කාර්යාල ගාණේ යන්න අවශ්‍ය නෑ. ඒ වෙලාවේම දඩය ගෙවලා රියැදුරු බලපත්‍රය අරන් යන්න පුළුවන්. මෙය මුළු රට පුරාම ප්‍රචලිත කරනවා.

ජනතාවට තව වැරදි කරන්න උඩගෙඩි දීමක්ද මේ සිද්ධ වෙන්නේ කියන චෝදනාවත් මේ එක්කම එල්ල වෙනවා නේද ?

කිසි ලෙසකවත් එහෙම වෙන්නේ නෑ. මෙහි තව වැඩපිළිවෙළක් තියෙනවා. දැනටත් ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ඒ ගැන සාකච්ඡා කරමින් යනවා. මෙලෙස දඩ මුදල ක්ෂණිකව ගෙවා නැවතත් වේගයෙන් යන්න රියැදුරන් හුරු වෙනවා කියලා සමහරුන් කියනවා. මේ සඳහා විසඳුමක් ලෙස ඉතාම නුදුරේදී රියැදුරු බලපත්‍රයට POINT SYSTEM හම්බවෙනවා. රියැදුරා වැරදි කරන්න කරන්න එයාට බෑඩ් පොයින්ට් (BAD POINT) ප්‍රමාණයකුත් එකතු වෙනවා. මේ බෑඩ් පොයින්ට් ප්‍රමාණය වැඩි වෙනකොට රියැදුරු බලපත්‍රය යම්කිසි කාලයකට අවලංගු වෙන්න පුළුවන්. එනිසා මේ දඩ ගෙවීමේ ක්‍රමය රථවාහන රියැදුරන්ට වැරදි කරන්න හරි, නීති කඩන්න හරි දෙන උඩගෙඩි දීමක් නෙවෙයි.

ඩිජිටල්කරණය වෙනුවෙන් මෙවර අය – වැයෙන් අවධානය යොමුව ඇත්තේ කෙසේද?

ඩිජිටල් ආර්ථිකය මේ රටේ ක්‍රියාවට නංවන්න ජනාධිපතිතුමා මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කරදී තියෙනවා.

මේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින දැනුම්වත්භාවය අවම වීම නිසාම ඔවුන් රජය කරන මේ වැඩසටහන් ගැන සෑහීමකට පත් වන බවක් පේන්න නෑ?

රටේ ජනතාව මේ පිළිබඳව දැනුම්වත් කිරීමට පුළුල් වැඩපිළිවෙළක් කරගෙන යනවා. ඊට අමතරව ජනතාවට මේ තොරතුරු ලබා දෙන්න ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය උපරිමයෙන්ම භාවිත කරනවා. මීට වසර ගණනකට පෙර සියලු දෙනා QRවලින් පෙට්‍රල් ගහන්න පුරුදු වුණා වගේ තව ටික කාලයක් යනකොට හයිවේ ගෙවීම් කාඩ් මඟින් පමණක් සිදු කරන්න පුළුවන් වෙයි. මීට අමතරව ඩිජිටල්කරණය සම්බන්ධව අපි බොහෝ ආයතන සමඟ විශේෂයෙන් ප්‍රවාහන මාධ්‍ය සියල්ලම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සම්බන්ධවී වැඩ කරගෙන යනවා. මේ පිළිබඳව ජනතාවගේ දැනුම්වත්භාවයේ මදිකමක් තියෙනවා.

මීට අමතරව කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, පරිසර අමාත්‍යාංශය, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ආදී ආයතන සමඟත් ඩිජිටල්කරණයට සම්බන්ධ වැඩපිළිවෙළ කරගෙන යනවා. ඇත්තටම පාස්පෝට් එක ගන්න, ඩිජිටල් අයිඩී එක ගන්න කොළඹටම එන්න අවශ්‍ය නෑ. ඒ වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇති කිරීමට මේ ඩිජිටල්කරණය හරහා අවස්ථාව සලසා දෙනවා.

ජනාධිපති අරමුදලින් මුදල් ගැනීමට දැන් කිසිම කෙනෙක් කොළඹට එන්න අවශ්‍ය නෑ. තමන්ට අදාළ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ජනාධිපති අරමුදලින් මුදල් ඉල්ලන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන භාර දුන්නාම ඒ සඳහා ඉන්න අදාළ නිලධාරීන් ඒ සියලු තොරතුරු කොළඹට එවා නිවැරදිතාව තහවුරු කරගෙන අදාළ මුදල ගිණුමට බැර කරනවා.

කොළඹින් දුරට යන්න යන්න ජනාධිපති අරමුදලින් මුදල් ඉල්ලලා තියෙන පිරිස බොහොම අඩුයි. ඒ කියන්නේ රටේ ජනතාවට මේ මුදල් අවශ්‍යතාව නැතිව නොවේ. මේ මුදල් ගැනීමට දින ගාණක් රස්තියාදු වෙන්න බැරි නිසා තමයි මේ මුදල් ඉල්ලන්නේ නැත්තේ.

ලබන මාසයේ සිට සියලුම හයිවේ පිටවුමකින්ම ඩිජිටල් මාධ්‍ය හරහා මුදල් ගෙවීමට හැකියාව ඇති බව සඳහන් වෙනවා. මේ ගැන පැහැදිලි කරමු ?

හයිවේ පිටවුම් හාරසිය ගාණක් තියෙනවා. කොට්ටාව සහ කඩවත හයිවේ පිටවුම්වලින් ඩිජිටල් මාධ්‍ය හරහා මුදල් ගෙවීමේ හැකියාව දැන් තියෙනවා. මැයි මාසය ඇතුළත සියලුම හයිවේ පිටවුම්වලට මුදල් ගෙවීම කාඩ් මඟින් හෝ QR හරහා සිදු කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් දැනට තියෙන QR එක ජනතාවට පහසු නෑ. තවත් කෙනෙක්ගෙන් අහන්න ඕනෙ මම ගෙවන්න ඕන ගාණ කීයද කියලා. නමුත් අපි අලුතින් ඩිජිටල් ගෙවීමක් හදලා තියෙන්නේ අතට දෙන රිසිට් පත බාකෝඩ් කළාම මුදල් ස්වයංක්‍රීයව ගෙවෙන්නයි. අඩු මුදලක් ගන්නත් බෑ. වැඩි මුදලක් ගන්නත් බෑ. කාඩ්පත ටැග් කළාම අදාළ මුදල පමණමයි ගෙවෙන්නේ. මුදල ඇතුළත් (ENTER AMOUNT) කරන්නත් බෑ.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT