ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ පුවත ලොව පුරා කිතුනු ජනතාවගේ පමණක් නොව, සාමය හා සමාදානය ගරු කරන ආගමික සහයෝගිතාව අගයන ලොව පුරා සියලු මානවවාදීන්ගේ කම්පනයට කරුණක් විය. එයට හේතුව උන්වහන්සේගේ සමාජ දර්ශනය ලොව පුරා කිතුනු ජනතාවට පමණක් නොව, සියලු මානව වර්ගයාගේ යහපත සහ විමුක්තිය උදෙසා වීමය.
ශුද්ධෝත්තම පාප් වහන්සේ කතෝලික සභාව වෙනස් කළ, පෘථිවියේ දකුණු අර්ධගෝලයෙන් බිහි වූ පළමු පාප් වහන්සේ ලෙස ඉතිහාසගත වූහ. උන්වහන්සේගේ ජීවන ගමන් මඟ පිළිබඳ ඕනෑ තරම් ලිපි ලේඛන, ගුවන්විදුලි වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන් තිබියදී අපි යළි යළිත් එය පුරෝකථනය කිරීමට උත්සාහ නොදරමු. උන්වහන්සේ පිළිබඳ කළ හැකි ඉතා විශිෂ්ටතම සහ ගෞරවනීය උපහාරය වන්නේ උන්වහන්සේගේ ජීවන දර්ශනය වඩා මැනවින් කියවා ගැනීම යැයි අපි සිතමු. මන්ද යත්: එය ලොව පුරා වෙසෙන සියලු පීඩිත ජනතාවගේ මෙන් ම සියලු මානවවාදීන්ගේ විමුක්තිය උදෙසා වන දර්ශනයක් වීමයි.
සාම්ප්‍රදායිකත්වයේ සීමා අතර සිරව සිටි කතෝලික පල්ලියට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නොපැකිළව කටයුතු කළ උන්වහන්සේ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ තීන්දු තීරණ රැසක් ගත් බව ප්‍රකට ය. ඉන් කියැවුණු සමාජයීය අර්ථය වූයේ ආගමික සහජීවනය පිළිබඳ අදහසයි; ලොව පුරා පීඩිත ජනතාවට වඩා සාධාරණයක් අත්කරදීම පිළිබඳ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනයට නව අර්ථකථනයක් දීමයි; ඒ දර්ශනය ප්‍රායෝගික තලයට රැගෙන ඒමයි.
ගතින් වයෝවෘද්ධ වුවත් මනසින් ඉතා රැඩිකල් හා තාරුණ්‍යයෙන් පිරිපුන් වූ උන්වහන්සේ බොහෝ තීන්දු තීරණ ගත්තේ එකී සමාජ වෙනස අපේක්ෂාවෙනි. ගෝලීයකරණය වූ නූතන ලෝකයේ ආගමික සහජීවනය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවෙනි.
උන්වහන්සේගේ සමාජ දර්ශනය පෙළගැසුණේ ලොව පුරා වෙසෙන කතෝලික භක්තිකයන් නව සදාචාරාත්මක මඟක් ඔස්සේ රැගෙන යෑමට ය.
“මම කැමැතියි දුප්පත් පල්ලියක දුප්පතුන්ට. අප ජීවත් වනුයේ ලෝකයේ වඩාත් ම අසමානකම් තියෙන කොටසේ. ලෝකයේ ආර්ථික වර්ධනය නම් උපරිම වශයෙන් දියුණු වෙලා තියෙනවා. ඒත් දුප්පත්කම අඩු වෙලා නෑ. අනෙකා පිළිබඳ සහකම්පනය, මානව හිතවාදය නොසිතූ තරම් මට්ටමට පහළ වැටිලා” යැයි උන්වහන්සේ වරක් දේශනා කළහ. සියල්ල ආර්ථිකය මත තීරණය වන නූතන සමාජ ක්‍රමය තුළ මානවහිතවාදය එකී ආර්ථික සාධක මත ගිලීයෑම පිළිබඳ උන්වහන්සේගේ දැක්ම සමාජගත කළේ එලෙසිනි.
උන්වහන්සේ ස්වකීය ආගමික භාවිතය තුළ ඉස්ලාමීය අන්තවාදයට පමණක් නොව කතෝලික අන්තවාදයට ද දැඩි ලෙස විරුද්ධ වූහ. කවර ආගමකින් වුව ද ආගමික ප්‍රචණ්ඩත්වය සිදු වන්නේ නම්, එයට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බව උන්වහන්සේ දැරූ මතය විය.
උන්වහන්සේ වරක් රෝමයේ පැවති ගබ්සාවට එරෙහි පා ගමනකට සහභාගි වෙමින් සඳහන් කළේ, “පිළිසිඳ ගත් මොහොතේ සිට නූපන් දරුවන්ගේ අයිතීන්” වෙනුවෙන් සටන් කළ යුතු බවය. ලිංගිකත්වය, ළමා අපචාර, පවුල් සංස්ථාව, ආගමික අන්තවාදය පිළිබඳ පැවති ගතානුගතික මතවාද ඉතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ආගම නිවැරැදි සමාජ දාර්ශනික මතවාදයක් සහ වැඩපිළිවෙළක් විය යුතුය යන සංකල්පයේ එල්බ සිටි බව පැහැදිලිය.
බලය හා බල ආධිපත්‍යය වෙනුවෙන් ලෝකයේ රටවල් විසින් කරන ලද විවිධ යුදමය ක්‍රියාකාරකම්වලදී උන්වහන්සේ යුද විරෝධියකු ලෙස ඍජුව ප්‍රකාශ කළේ “නිරර්ථක සහ කුරිරු යුද්ධය” අවසන් කරන ලෙසය. එමඟින් පීඩාවට පත් වන්නේ ලොව කොතැනක හෝ මානව වර්ගයා බව එයින් පෙන්වා දුන්හ.
“ලෝකයක් එක්ක ගනුදෙනු කරන, පාරට බැහැලා මිනිස්සු වෙත ළඟා වන පල්ලියක් තියෙනවා නම් මම පළමුවෙන්ම තෝරා ගන්නේ එයයි.”
උන්වහන්සේ ආගමික දර්ශනවාදය කාලානුරූපිව වෙනස් විය යුතු බවට දැරූ මතය එමඟින් නිරූපණය වේ.
“මොනරා දෙස බලන්න. ඔබට ඉදිරියෙන් බැලුවොත් ඒ සතාගේ ලස්සන නර්තනයක් පෙනෙනවා. ලස්සන වර්ණ ගැන්වුණු පිහාටු පෙනෙනවා. එහෙත් පිටුපසට ගොස් බැලුවොත් පෙනෙන යථාර්ථය සහ සත්‍යය ඊට වෙනස්.”
ලොව ඕනෑ ම දෙයකට ද්විමානික සත්‍යයක් පවතින බව උන්වහන්සේ ඉතා සරලව පැහැදිලි කළේ එලෙසය.
එබැවින් අපි යළිත් වරක් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් අපගේ ගෞරවනීය ආචාරය පුද කරමු.
උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි වඩාත් ඉහළතම ගෞරවය වන්නේ උන්වහන්සේගේ දර්ශනය වඩා හොඳින් කියවා ගැනීම හා ප්‍රායෝගිකකරණය බව යළිදු ලියා තබමු. ලොව පුරා ආගමික සහජීවනය අපේක්ෂා කරන සියලු මානව හිතවාදි මිනිසුන් වෙනුවෙන් අපි ඒ අදහස යළිත් වරක් සටහන් කොට තබමු.
ලෝකය වඩාත් වර්ණවත් වන්නේත්, විචිත්‍රවත් වන්නේත්, වඩාත් සුන්දර වන්නේත් ආගමික විවිධත්වයට ගරු කරමින් ආගමික සහජීවනය තුළ බව අපි ඉතා දැඩිව විශ්වාස කරමු.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද ආගමික විමුක්තිය උන්වහන්සේට අත්වේවායි! අපි ඉමහත් හැඟීම්බරව ප්‍රාර්ථනා කරමු.
උන්වහන්සේට ස්වර්ග මෝක්ෂ සැපත ප්‍රාර්ථනය කරන්නෙමු.