කර්මාන්ත අමාතංශය යටතේ ක්‍රියාත්මකවන බී සී සී ලංකා ලිමිටඩ් ආයතනය 2025 ජනවාරි මාසයේ සිට අලුත් ගමනක් ආරම්භ කර ඇති බවත් පසුගිය පෙබරවාරි මාසයේ සිට එය ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති බවත් එම ආයතනයේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පවසයි.
බී සී සී ආයතනයේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබද අද(23) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ නිසි කළමනාකරණය මගින් ඉකුත් පෙබරවාරි සහ මාර්තු මාසවල දී බී සී සී ඉතිහාසයේ ඉහළම විකුණුම් ආදායම ලබා ගැනීමට හැකියාව ලැබුණු බවයි.
ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 95ක විකුණුම් ආදායමක් ද, පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 125ක් ආදායමක් ද උපයා ඇත. එසේම ඉකුත් මාර්තු මාසයේ දී රුපියල් මිලියන 124ක විකුණුම් ආදායමක් ලබා තිබේ.
කෙතරම් දුෂ්කරතා පැවැතිය ද බී සී සී ආයතනය නිෂ්පාදනවල ගුණාත්මකභාවයට කිසිදු හානියක් නොකොට ගුණාත්මක බවින් පරිපූර්ණ නිෂ්පාදන වෙළෙඳපලට නිකුත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බව සභාපතිවරයා කීය.
දැනට බී සී සී නාමය යටතේ පොල්තෙල් වර්ග දෙකක් එනම් බී සී සී වයිට් කොකනට් ඔයිල් සහ කුක්ස් ජෝයි, සබන් වර්ග 05ක් සහ විශබීජනාශක හා පිරිසිදුකාරක වර්ග වෙළෙඳපොලට නිකුත් කෙරේ.
ඉදිරියේ දී මෙම නිෂ්පාදන ක්‍රියාවලිය තවත් කාර්යක්ෂම ලෙස වේගවත් කිරීමට සූදානම් බවත් අදවන විට අඛණ්ඩව සතියට දින 06ක් නිෂ්පාදන කටයුතු ආයතනයේ සිදු කරනු ලැබේ.
දැනට ආයතනයේ නැවතී තිබෙන නිෂ්පාදන වර්ග කිහිපයක් ද නුදුරේ දී ආරම්භ කිරීමට නියමිතය. එසේම නව කර්මාන්තශාලාවක් සහ නව පර්යේෂණාගාරයක් ද ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත. මීට අමතරව නුදුරේ දීම යුරෝපා රටවලට බී සී සී නාමය යටතේ නිෂ්පාදන අපනයනය කිරීමට ද මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති සියලු සුපිරි වෙළෙඳසැල් ජාල වෙතද බී සී සී නිෂ්පාදන යොමු කර තිබේ.
1830 වසරේ දී පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආශ්‍රයෙන් යුරෝපීයන් මෙරට ආරම්භ කළ මෙම ව්‍යාපාරය 1918 දී බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් නමින් තවත් අනුබද්ධිත සමාගම් කිහිපයක් එකතුව සංස්ථාගත කර මෙරට ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක් ලෙස කටයුතු කර ඇත. 1972 වර්ෂයේ දී මෙය රජයට පවරාගෙන අනතුරුව 1988 වසරේ දී බී සී සී ලංකා ලිමිටඩ් නාමයෙන් පොදු සමාගමක් ලෙස සංස්ථා ගත කර තිබේ.
කෙසේ නමුත් 2006 වසරේ දී බී සී සී ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස සලකා සම්පූර්ණයෙන් වසා දැමූ අතර ඉන් පසු යළි එම වසරේ අග භාගයේ දී සුළු සේවක ප්‍රමාණයකින් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.
පසුගිය කාලයේ රජයේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනක් මගින් මෙම ආයතනයට ප්‍රතිව්‍යුහගත කිරීමට නියම වූ ආයතනයක් බවට හඳුනාගෙන තිබූ පසුබිමක 2025 ජනවාරි මාසයේ දී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය මගින් නව සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ තමන් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කරමින් නව රජය යටතේ බී සී සී ලංකා ලිමිටඩ් ආයතනය නව ගමනක් දැන් ආරම්භ කර ඇති බවද සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා කියා සිටියේය.
ඉදිරියේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ මගපෙන්වීම යටතේ දේශීය වෙළඳපොළෙන් ඔබ්බට ගොස් යුරෝපා වෙළඳපල වෙත BCC නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කරමින් කරමින් පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප – සුදත් මලවීර