දිගු කලක් ප්‍රචණ්ඩත්වය මානව දිවිය සමග භාවිත කිරීම හරහා ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම හා එය සාමාන්‍යකරණය කිරීමේ සංස්කෘතික මනෝභාවයන් ද ගොඩ නැංවී තිබීම මෙහි ඇති බරපතළම හා ඛේදනීය අර්බූදයයි.
මානව ඉතිහාසයේ මිනිසා ආ දිගු ගමන් මග සමඟ බැඳුණු ක්‍රියාදාමයක් ලෙස ප්‍රචණ්ඩත්වය අපට හඳුනා ගත හැකි ය.
ප්‍රචණ්ඩත්වය පිළිබඳ මානව සමාජ විද්‍යාඥයන්, දේශපාලන විද්‍යාඥයන්, නීති විශාරදයන් හා මානව හිමිකම් සංවිධාන විවිධ නිර්වචන සපයයි. මෙම නිර්වචනයන් හරහා ප්‍රකාශ කරනුයේ සමාජ හා නෛතික සාධාරණීකරණය කිරීමට ඔබ්බෙන් බලහත්කාරී ලෙස බලය යෙදවීම ප්‍රචණ්ඩත්වය යන්න යි. එනම් යම් මනුෂ්‍යයකුට හෝ මනුෂ්‍ය කණ්ඩායමකට, යම් ජන සමූහයකට, සත්ත්වයකුට හෝ සත්ත්ව සමූහකට හෝ භෞතික වස්තූන්ට හෝ පරිසරයට එරෙහිව මානසික, වාචික, ශාරීරික හිංසා පීඩා පැමිණවීම, තර්ජනය කිරීම, බිය වැද්දීම, නිදහස අහිමි කිරීම, මරණයට පත් කිරීම, විනාශ මුඛයට පත් කිරීම යන ක්‍රියාවන් මානව ප්‍රචණ්ඩත්වය ලෙසින් නිර්වචනය කෙරෙයි. මෙහිදී ප්‍රචණ්ඩත්වය විවිධ වර්ගීකරණයන් යටතේ හඳුනා ගත හැකි ය. එනම් දේශපාලන, සංස්කෘතික, ආර්ථික, ජනවාර්ගික, ආගමික, ගෘහස්ථ ලිංගිකත්ව, සමූහ, මාධ්‍යය හා ජනසන්නිවේදන, දරුවන්ට එරෙහි, සත්ත්වයන්ට එරෙහි, පරිසරයට එරෙහි වශයෙන් ප්‍රචණ්ඩත්වය ඉතාම පෘථුල හා සියුම් ලෙස සමස්ත සමාජ ක්‍රියාවලිය තුළම විවිධ ස්වරූපයෙන් පැතිරී පවතී.
දිගු කලක් ප්‍රචණ්ඩත්වය මානව දිවිය සමඟ භාවිත කිරීම හරහා ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම හා එය සාමාන්‍යකරණය කිරීමේ සංස්කෘතික මනෝභාවයන් ද ගොඩ නැංවී තිබීම මෙහි ඇති බරපතළම ඛේදනීය අර්බූදයයි. එවිට ප්‍රචණ්ඩත්වය, මනුෂ්‍යත්වයට හෝ සත්ත්වයන්ට හෝ පරිසරයට එරෙහි සාපරාධයක් හා එය අපගේ භාවිතයෙන් බැහැර කළ යුතු සංකල්පයක් ලෙස සිතීමේ අවකාශ වළකාලමින් එය තව දුරටත් පවත්වාගෙන යාමේ ඓතිහාසික ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ප්‍රචණ්ඩත්වය සමාජ ගත කරමින් සාධාරණීකරණය කිරීමේ මිත්‍යාවන් ඉතාම සංවිධිත අයුරින් පවත්වාගෙන යාම හරහා 21 වන සියවසෙහි ද, මානව පරිකල්පනයේ අවවර්ධිත බව හා අශිෂ්ඨත්වය ලොව පුරා නිරූපණය කෙරෙයි.
අපි එක්ව, එක් ජන සමූහයක් තවත් ජන සමූහක් සංහාරය කරමින් සිටින අයුරු නරඹමින් සිටිමු. දරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ඛේදය උසුලා සිටිමු. පෘථිවියේ ජීවින් හා පරිසරය මහා පරිමාණයෙන් සංහාරය කෙරෙනු අපි නිසලව දරා සිටිමු. දේශපාලන බලය හෝ කිසියම් උන්මාදනීය බලාධිකාරයක් අත් පත් කරගැනීම හෝ පවත්වාගෙන යාම හා පාර්ශ්වීයභාවය වෙනුවෙන් මනුෂ්‍යත්වය, මනුෂ්‍යත්වය ට හෝ අන් යමකට එරෙහිව සිදු කරන බලහත්කාරි බලය හැසිරවීම හමුවේ බිලියන ගණනක මානව ප්‍රජාවක් මානවීයත්වයේ හා ජීවීන්ගේ, පරිසරයේ පැවැත්මට ඇති අයිතිය නොතකා හැර සිටීම හෝ එයට එරෙහිව අභියෝග කිරීමට අසමත්ව සිටීම යනු අපගේ මානව ශිෂ්ටාචාරය ගැඹුරු ප්‍රශ්න කිරීමේ මායිමක තව දුරටත් පවතින බව විද්‍යාමාන කිරීමකි.
ශ්‍රී ලංකාවේ දැනට දශක ගණනාවකට ඉහත සිදුවූ දේශපාලන ඝාතන පිළිබඳ බටලන්ද කොමිසම් වාර්තාව යළි ඉස්මත්තට ඒම සමඟ ඇති වූ සංවාදයේ දී එකී මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්වාගෙන ගිය, එක්සත් ජාතික පක්ෂයේ වත්මන් සභාපති වජිර අබේවර්ධන, එම ප්‍රචණ්ඩත්වය ප්‍රසිද්ධියේ සාධාරණීකරණය කරමින් කියා සිටියේ, සිය පාක්ෂිකයන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් එම යුගයේ එම මිනීමැරුම් කිරීමට සිදු වූ බවයි. එසේම ගාසා තීරයට එරෙහි යුධමය ප්‍රචණ්ඩත්වය, තාවකාලිකව අත්හිටුවන ලෙස ඊශ්‍රායල් රජයෙන් පසු ගිය මාර්තුවේ ඉල්ලූ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්, ගාසා තීරය සිය රාජ්‍ය අධිකාරියේ බල කොළණියක් ලෙස ගොඩ නැංවීමට යෝජනා කළේ ය. ඒ හරහා සිය මානව අයිතීන් උල්ලංඝණය වෙතැයි පවසමින් පලස්තීන ජනතාව එයට එරෙහිව දැක්වූ විරෝධය හමුවේ යළි ගාසා තීරයට මානව සංහාර ප්‍රහාර එල්ල කිරීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට සහය පළ කරන ලදී.
මේ සියල්ල හරහා නිරූපණය වනුයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ලොව පුරා ගෝත්‍රික මනෝභාවයන් ගෙන් අත් මිදී නොමැති බවයි. එසේම සෑම කල්හිම, සෑම රාජ්‍යයකම, සෑම සමාජ ස්ථරයකම, සෑම සංස්කෘතියකම විවිධ තලයන් හා මානයන් ඔස්සේ ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කෙරෙමින් අඛණ්ඩව පවතින බවයි.
තිලිනා වීරසිංහ