නෝමන් රොක්වෙල්ගේ සිතුවම
අප රටේ කලාකරුවන් බොහොමයක් දෙනා කියන්නේ කලාකෘතිවලින් සමාජයක් වෙනස් කරන්න බෑ කියලයි. එය සැබවින්ම අදෝනාවකි. නිර්මාණයක් කියන්නෙ මොකක්ද, සමාජය කියන්නෙ මොකක්ද කියල ඇත්තටම ඒ අය දන්නෙ නැතිද? එහෙමත් නැතිනම් සියලුදේම ගතිකයි, වෙනස්වෙනසුලුයි කියන ප්‍රකෘතියේ නියාමනය හෑල්ලුවට ලක්කරනවද?
සමාජයක් එක දවසින් එක මොහොතින් වෙනස් කරන්න කලා කෘතියකට තියා ජනතා විප්ලවයකටත් බෑ. නමුත් කලාකෘතියක් තුළින් මිනිසෙකුට දැනෙන තිගැස්මක් හෝ සහකම්පනයක් තිබේ. යම් කිසි සමාජ පන්තියක් මොහොතින් මොහොත දිනෙන් දින කලාකරුවා ඉදිරිපත් කළ ඒ නිර්මාණාත්මක ප්‍රපංචය කෙරෙහි වැඩි වැඩියෙන් අනුගත කෙරෙයි. ඒ අනුගතවීම කිසියම් වූ වෙනසක් කරා සමාජය ගෙනයනු ලබන බව සහතික ය.
අමෙරිකාව විසින් වියට්නාමයට පහරදීම සාධාරණ බවට එවක එක්සත් ජනපද සමාජය ප්‍රමුඛ යුරෝපා සමාජය දැරූ මතවාදය එක රැයින් කුඩුපට්ටම් වූයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පී නික් උට් විසින් ගනු ලැබූ ඡායාරූපයකිනි. එක්සත් ඡනපද සොල්දාදුවන් විසින් මුදාහළ ඇසිඩ් ප්‍රහාරයකින් පසු වේදනාවෙන් කෑගසමින් පාරක නිරුවතින් දුවන ගැහැනු ළමයකුගෙ ඡායාරූපයක් ඡාත්‍යන්තර මාධ්‍යවල පළවිය. එයින් පසුව එක්සත් ජනපදය තුළම ප්‍රබල හඬක් මතු වූයේ යුද්ධය නතර කොට ගෙදර එන ලෙස සොල්දාදුවන්ගෙන් ඉල්ලීමෙනි. පිකාසෝගේ ගුවර්ණිකා සිතුවම එතෙක් මධ්‍යස්ථව සිටි ස්පාඤ්ඤ ජනතාව ඒකාධිපති ප්‍රැන්කෝට එරෙහිව පෙළගැස්වීමට සමත් විය.
ගුවර්ණිකා සිතුවම හා බැඳුණු කතාන්දරය වනාහී වර්ණවාදයට හා වර්ගවාදයට එරෙහිව මධ්‍යස්ථව සිටි ඡනතාවක් ඊට එරෙහිව අත්වැල් පටලාගත් මිනිසුන් බවට පත්කළ ඉතිහාසගත සිත්තමක්. ඒබ්‍රහම් ලින්කන් විසින් ‘‘කළු මිනිසුන් තවදුටත් වහලුන් නොවෙි ඔවුහු මේ රට ගොඩනැඟූ පුරවැසියන්ය” කියල ව්‍යවස්ථානුකුල අණකිරීමක් කළද, එක්සත් ජනපද සුදු මිනිසා එය එකවරම පිළිගත්තේද? නැත. ඒ සඳහා තවත් දීර්ඝ කාලයක් ඇදී ගිය බව පමණක් කිව හැකිය. ඇතැම්විට 2024 දිත් ඒවායේ නෂ්ඨාවශේෂ දැකිය හැකියි.
1954 ට පෙර එක්සත් ජනපදයේ කිසිදු කළු ජාතික දරුවෙක් සුදු ළමයි ඉගෙන ගන්නා පාසැලකට වැද්ද ගත්තේ නැ. 1954 දී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ‘බ්‍රවුන් එදිරිව අධ්‍යාපන මණ්ඩලය’ තීරණාත්මක නඩු තීන්දුවෙන් සුදු ජාතිකයන්ට පමණක් පාසල් වෙන් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කෙරුණි. එහෙත් එක්සත් ඡනපදයේ දකුණේ ප්‍රාන්ත එම තීන්දුවට අනුකූල වීමට තවත් කාලයක් ගත වූ බව කිව හැකියි. මේ තීන්දුව අනුව කළු සිවිල් වැසියන් 1957 දී ආකැන්සාස් ප්‍රාන්තයෙහි ලිට්ල් රොක්හි පැසැලකට තම කළු සිසුන් නව දෙනෙකු ඇතුළු කිරීමට කිරීමට තීරණය කළ විට, කෝපයට පත් මැර කණ්ඩායම් විසින් ඔවුන්ට තර්ජනය කරන ලද අතර එම, දරුවන් ආරක්ෂිතව පාසලට රැගෙන යාමට එක්සත් ජනපද පැරෂුට් භටයින් කැඳවීමට ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් ට සිදුවිය. එහෙත් කළු ජාතික මව්පියන් තම දරුවන් 9 දෙනා පාසැලට අතුළත් කරනු ලැබුවේ නැත. ඔවුන් සිටියේ අප්‍රමාණ භීතියකිනි. මන්ද යත් පළමුව ජීවත්විය යුතු ය.
1960 නොවැම්බර් 14 වන දින නිව් ඔර්ලියන්ස් හි කළු ජාතික මවක් තම දියණියවු රූබි බ්‍රිජ්ස්ට ‘‘ ඔයාට උන් මොනව කරත් බයවෙන්න එපා දුවේ ” යැයි කියමින් සුදු ළමයින් පමණක් ඉගෙනගන්නා පාසැලකට යැවුවා ය. ෆෙඩරල් අධිකරණයක් නිව් ඕර්ලියන්ස් පාසල් පද්ධතිය ඒකාබද්ධ කිරීමට නියෝග කිරීමෙන් පසු පාසලට පැමිණි පළමු අප්‍රිකානු – ඇමරිකානු දරුවා රූබි විය. මහජන විරෝධය කෙතරම්ද යත් සුදු දෙමාපියන් තම දරුවන් පාසලෙන් ඉවත් කර ගත්පසු රූබි මුළු අවුරුද්දක් පුරාම තනියම පන්ති කාමරයක ගත කළා ය. ඇයගේ පියාට සුදු ජාතික හිමිකරුවා විසින් රැකියාව අහිමි කරවන ලදී. මිසිසිපි හි ඡිවිත්වු ඇගේ ආච්චිලා සීයලා ඔවුන් පදිංචිව සිටි ඉඩමෙන් බලහත්කාරයෙන් පිටමං කරවන ලදී.
අමෙරිකාවේ කළු ජාතිකයාට යුක්තිය හා ශක්තිය ග්‍රහණය කර ගැනීම පිණිස සිය තියුණු නිරීක්ෂණ හැඟීම භාවිතා කළ දක්ෂ චිත්‍ර ශිල්පියෙකුවු නෝමන් රොක්වෙල් මෙම අත්දැකීම සිත්තමට නැඟුවේ ය. එය එක්සත් ජනපදයේ මුද්‍රිත මාධ්‍ය වෙත යොමු කළේ ය. ඔහු විසින් එය නම් කර තිබුණේ මෙසේ ය.
‘‘ අපි හැමෝම ගැටලුවක් සමඟ ජීවත් වන්නෙමු”.
සිත්තමේ ඇත්තේ ජාතිවාදීන් ඇයට එල්ල කළ තක්කාලි ප්‍රහාරයෙන් පසුද සිය හිස කෙලින් තියාගෙන නිර්භයව පාසල වෙත පියමන් කරන රූබී බිඡස් ය. මුහුණු නිරුපණය නොකළ මිනිසුන් කිහිප දෙනකු විසින් දැරියව දෙපැත්තකින් ආරක්ෂා කරන ආකාරයද එහි විදහා පෙන්වයි. කහ අත් පටි ඔවුන් ෆෙඩරල් මාෂල්වරුන් බවට ඉඟි කරයි.
රොක්වෙල්ගේ මෙම සිතුවම, රූබි ඇගේ ඉරණම්කාරී පාසලට ඇතුළුවීමෙන් වසර කිහිපයකට පසුව නිර්මාණය කරන ලද්දකි. එය සුදු මිනිසුන් තුළ පැවති අකාරුණික බව මොහොතකට ඔවුනට සිහි කැඳ වුයේ ය. පසුව ඔවුහු ක්‍රම ක්‍රමයෙන් කළු ජාතික දරුවන්ටද තම දරුවන්ගේ පාසැල්වල අධ්‍යාපනය ලබීමට අවස්ථාව දුන් අතර එකල එක්සත් ඡනපදයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායකයන් වු මාටින් ලුතර් කිං, රෝසා පාර් ක්, මායා ඇන්ජිලෝ වැන්නවුන් සිය අරගල වලදී සංකේතයක් ලෙස මෙම සිත්තම භාවිතයට ගත්හ.
එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ටත් සුදු ළමයින්ගේ පාසල්වලට ඇතුළු කිරීම සම්බන්ධයෙන් රූබී බ්‍රජඩ් කළ අභියෝගයේ 50 වැනි සංවත්සරයේදී, ජාතියේ පළමු අප්‍රිකානු -අමෙරිකානු ජනාධිපති, බැරැක් ඔබාමා විසින් ධවල මන්දිරයේදී ඇයව පිළිගත් විට ඇය විසින් ඔහුට පිරිනමනු ලැබුවේ මේ සිත්තමේ ආකෘතියකි. එවිට ඔබාමා රූබීට කළ ප්‍රකාශය ගැඹුරු ය. නිිහතමානීය ඇයට ගෞරව කරමින් ඔහු පවසා සිටියේ “ එය ඔබ විසින් නොකළේ නම් අද මම මෙහි නොසිටිමි… ” යන්නයි.
උපාලි ජයසිංහ