Wednesday, April 23, 2025
Home » දේශප්‍රේමයේ දෙබිඩි මුද්‍රාව

දේශප්‍රේමයේ දෙබිඩි මුද්‍රාව

by sachintha
April 23, 2025 1:05 am 0 comment

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු සිය ව්‍යාපෘතිය පවත්වා ගත හැකි පසමිතුරු ෆැන්ටසියක් ගොඩනැඟීමට අවශ්‍ය භෞතික ආධාරකයක් සිංහල බෞද්ධ වාර්ගික ජාති(ක)වාදයට අද අහිමි වී ඇත.

කලකට වහලු-කලකට රහ වෙනවලු’ යන කියමන හෝ ‘දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත’යන්න හෝ හුදු ජනවහරේ කියමන් ලෙස බැහැර කරලිය හැකි නොවේ. එමෙන්ම පැහැරගැනීමක් හා මනුෂ්‍ය ඝාතනයකට අදාළව අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් නීති සහය ලබාදෙනු පිණිස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඉදිරිපත්වීම හුදෙක් සැකකරුවෙකු වෙනුවෙන් නීතිඥයකු අධිකරණයේ පෙනී සිටීමක් නොවේ. පිල්ලෙයාන්-ගම්මන්පිල පළමු හමුවේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ගම්මන්පිල විසින් පවත්වනු ලබන මාධ්‍ය හමුව පවා අන්දෝලනයට තුඩුදෙන සිදුවීමක් වන්නේ මේ නිසා ය. ඒ හුදෙක් නීතිඥයකු තම සේවාදායකයා සමඟ පවත්වන සාකච්ඡා ප්‍රසිද්ධ මාධ්‍ය යේ හෙළිදරව් කරනු ලබන්නේ පළමු වතාවට නිසා හෝ ගම්මන්පිල වැනි උසාවි නොයන නීතිඥවරයකු උසාවි යන බව කියන පළමු අවස්ථාව නිසා පමණක් නොවේ. ඔහු බොරු ගොන්නක් දෙසා බාමින් සමාජයක් නොමග යවනවාට අමතරව ප්‍රසිද්ධියේ සංඥා ලබාදිය යුතු යයි අදහස් කරන පිරිසකට සංඥා ලබාදීමක්ද කරන බැවිනි.

දුස්තොරතුරු වැපිරීම

සිය මාධ්‍ය සාකච්ඡාවේදී ගම්මන්පිල විසින් ප්‍රසිද්ධියේ කියා ඇති බොරු හා දුස්තොරතුරුවලින් කිහිපයක් පහත පරිදි දැක්විය හැකි ය.

1. පිල්ලෙයාන්ගේ නීතීඥයාට අවසර නොදීම

ගම්මන්පිලට පෙර කිසිදු නීතීඥයෙක් පිල්ලෙයාන් හමුවන්නට විධිමත්ව ඉල්ලා නැති අතර, එබැවින් ම එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර නැත.

2. සීඅයිඩී උප පොලිස් පරීක්ෂක ෆාහිම්

ගම්මන්පිල – පිල්ලෙයාන් හමුව ගැන ඒ මොහොතේම සමාජ මාධ්‍යවල තොරතුරු පළකළ බවට ගම්මන්පිල කියන ඒ එල් එම් ෆාහිම් නමින් උප පොලිස් පරික්ෂකවරයෙක් සිඅයිඩී මූලස්ථානයේ හෝ කිසිදු සීඅයිඩී ශාඛා කාර්යාලයක නැත.

3. පවුලේ ඥාතීන්ට කතාකරන්නට නොදීම

පිල්ලෙයාන්ගේ ඥාතීන්ට ඔහු දැකබලාගෙන කතාකිරීමේ අවස්ථාව මේ වනවිටත් ලබාදී තිබේ.

4. මුදලට තොරතුරු විකුණන නියෝජ්‍ය පොලිස්පති

සමාජ මාධ්‍යවලට තොරතුරු මුදලට විකුණන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ගැන තමන් අත තොරතුරු ඇතැයි කීවත්, නීතීඥයකුද වන ගම්මන්පිල ඒ සම්බන්ධයෙන් අදාළ කිසිදු අංශයකට මේ දක්වා කිසිදු පැමිණිල්ලක් කර විමර්ශනයක් ඉල්ලා නැත. ඒ වෙනුවට අපරාධ විමර්ශන ක්‍රියාවලිය මහජනයා අතර අපකීර්තියට ලක්කිරීමේ ද්වේශ සහගත අරමුණින් මාධ්‍ය හමුවේ ඕපාදූපයක් හා දුස්තොරතුරක් ලෙස ඒ කතාව පතුරුවා හැර ඇත.

මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධකර ඇති මේ අසත්‍ය හා ද්වේශ සහගත දුස්තොරතුරු ප්‍රචාරය සම්බන්ධයෙන් වහාම ගම්මන්පිලගෙන් ප්‍රශ්නකර පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව ප්‍රවීණ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් ඉල්ලා තිබේ.

පිල්ලෙයාන්ට නීති ආධාර සැපයීමකට මුවාවී අපරාධ විමර්ශනවලට දේශපාලනිකව බලපෑම් කිරීම හා විමර්ශන ක්‍රියාවලිය අඩපණ කිරීමේ අරමුණින් මහජන මතයක් ගොඩනැඟීම ඉලක්ක කරගෙන සිය නීතීඥ වෘත්තිය අවභාවිත කිරීමක්ද යන්න ද විධිමත් විමර්ශනයකට ලක්කළ යුතුය‍. මන්දයත් මීට පෙර අවස්ථාවකදී කප්පම් ගැනීම සඳහා කොළඹ හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ත්‍රිකාණාමලය නාවික හමුදා කඳවුරේ දී ඝාතනය කිරීමට අදාළ නඩූවේ පැමිණිල පාර්ශ්වයේ සාක්ෂිකරුවකු මාධ්‍ය සාකච්ඡාවකට රැගෙන ගොස් මාධ්‍ය සංදර්ශනයක් පවත්වා, එම අපරාධයේ අධිකරණ ක්‍රියාවලිය ද කඩාකප්පල් කිරීමේ මීට පෙර ගම්මන්පිල විසින් උත්සාහය දරා තිබීම ය. අනෙක් අතට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන විධිමත් කෙරෙන විට ඉකුත් මැතිවරණ සමයේ විමර්ශන සිදුකළ ශානි අබේසේකර, රවි සෙනෙවිරත්න වැන්නන්ට එරෙහිව අවලාද නඟමින් මාධ්‍ය හමු පවත්වා එකී අවස්ථාවේද විමර්ශන නොමඟ යවමින් මහජනයා තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට ගම්මන්පිල විසින් කටයුතු කළ අයුරු කිසිවෙකුටත් අමතක විය නොහැක.

සිදුවීම් පෙළගැසීම

2018 වසරේ ජනවාරි මාසයේ දී අන්තවාදී සහරාන් ඇතුළු කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව අසාද් මවුලානා චැනල් 4 ඉදිරියේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා පවසා තිබිණි.

ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට බන්ධනාගාර ගතව සිටි පිල්ලෙයාන් විසින් තමන් වෙත කරන ලද දැනුම් දීමකට අනුව සයීන් මවුලවී ඇතුළු පුද්ගලයින් පිරිසකට ඇප ලබාදුන් බවත්, පසුව එම පුද්ගල කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධාන කළ බවත්, එහිදී අනාවරණය කෙරිණි. පුත්තලම, කරඩිපුවල් නැමති ප්‍රදේශයට අදාළ කණ්ඩායමට පැමිණෙන ලෙස තමා දැනුම් දුන් බවත් එහිදී සුරේශ් සලේ ඇතුළු පිරිස සාකච්ඡා කළ බවද අසාද් මව්ලානා පවසා තිබේ. ඒ අනුව සුදු පැහැති වෑන් රථයකින් සයීන් මවුලවී සහ ඔහුගේ සහෝදරයා වන සහරාන් ඇතුලු 6 දෙනෙකු පැමිණි බවත්, සුරේශ් සලේ සහ සහරාන් කණ්ඩායම කළ සාකච්ඡාව දීර්ඝ වේලාවක් පැවතුණු බවත් ඔහු පෙන්වාදෙයි.

‘ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකරන්න රාජපක්ෂලට අවශ්‍යයි. ඒක තමා ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මග යැයි’, එම සාකච්ඡාවෙන් පසු සුරේෂ් සලේ තමාට පැවසූ බව අසාද් මවුලානා චැනල් 4 වෙත වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

2019 වසරේ ජනවාරි මාසයේ දී රහස් පොලිසිය විසින් පුත්තලමේ පොල්වත්තක පවත්වාගෙන ගොස් තිබු ආරක්ෂිත නිවෙසක් සොයා ගන්නා ලදි. අසාද් මවුලානා චැනල් 4 වෙත පවසන්නේ සුරේෂ් සලෙයි සහරාන් ඇතුළු පිරිස හමු වූ ස්ථානය එය බව යි. මේ අතර හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් නොමඟ යැවීම් නොකළේ නම් ජාතික තවුහිත් ජමාත් (NTJ) කණ්ඩායම මෙම සිද්ධිවලට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසැකවම අනාවරණය කර ගැනීමට තිබූ බවත් අසාද් මව්ලානා අනාවරණය කරයි. ගම්මන්පිල විසින් පාස්කු ප්‍රහාරකයින් කිරෙන් නෑවීමට පෙර චැනල් ෆෝ නාලිකාව හරහා අසාද් මවුලානා 2023 සැප්තැම්බර් 07 දින තුවාන් සුරේශ් සලේට එරෙහිව ගොනු කළ චෝදනා සාවද්‍ය බව ඔප්පු කළ යුතු වුව මෙතෙක් එවැන්නක් සිදුකිරීමට උත්සහයක් හෝ ගෙන නැත.

කාතාන්කුඩියේ අලියාර් හංදියේ සහරාන් කල්ලිය අත්හදා බැලූ බෝ/ම්බය පුපු/රා ගොස් සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් තුවාල ලැබී ය. ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා දෙහිවල එබනිසා පාරේ පදිංචි අයෙකි. අසාද් මවුලානාද එම පාරේ නිවසක් තිබූ අයෙකි. පිල්ලෙයාන්ගේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටින කාලයේදී පාස්කු ප්‍රහාරයෙන් පසුව එම වෛද්‍යවරයාට විදෙශ් රටකට පලායාමට තමා උදව් කළ බව අසාද් මවුලානා සඳහන් කර තිබුණි. ප්‍රශ්නය අලුත් තැනකින් මතුවන්නේ එතැන් සිට ය.

ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරවා ගැනීමට පැමිණි ජමීල් එම ස්ථානයේ සිට සහරාන්ගේ සොහොයුරාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පදිංචි නිවස අසල පිහිටි එබනිසා පල්ලියම සොයාගෙන පැමිණියේ ඇයි.? ටාජ් සමුද්‍රා හෝටලයේ සිට දෙහිවලට පැමිණෙන තෙක් මුස්ලිම් දේවස්ථාන කොතෙක් නම් හමුවේද ? වෙනත් මුස්ලිම් දේවස්ථානයකට යාඥාකිරීමට නොගියේ ඇයි ? මේ සියල්ලම පසුකරගෙන දෙහිවල එබනිසා දේවස්ථානයට ජමීල් පැමිණ ඇත. එතැනදී තමාගේ දුරකථනයෙන් ඇමතුම් ගත් බවද ඇසින් දුටු සාක්ෂි වලින් හෙළිවිය. ඉන් පසුව ඒ අසල පිහිටි ට්‍රොෆිකල් ඉන් තුළ (පල්ලියට පැමිණීමට පෙර පුපුරණ ද්‍රව්‍ය අඩංගු ජැකටිටුව තබා පැමිණි ස්ථානය ) ඔහු පුපුරවාගෙන මිය ගියේ ය. එහෙත් අරුම පුදුම සිදුවීම වූයේ ජමීල් ටාජ් සමුද්‍ර හෝටලයේදී හා එබනිසා පල්ලියේදී ඇමතුම් ගත් දුරකථනය පිපිරීමෙන් පෙර හෝ පසුව අතුරුදහන්වීම ය. එම දුරකථනය හමුවූවානම් ඉතා පහසුවෙන් පාස්කු ප්‍රහාරයේ තිරයෙන් පිටුපස සිටි පිරිස හෙළිකරගැනීමට තිබුණි. මෙම සිදුවීම් පෙළ පිළිබඳව ඉමාම් කමිටුවේ කිසිදු තැනක සටහනක් හෝ ප්‍රශ්න කිරීමක් කර නැත. කෙසේ වුවද අසාද් මවුලානා හෙළිකළ සහරාන්ගේ සොහොයුරාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පදිංචිව සිටි එබනිසා පාරේදී ජමීල් අවසානයේදී මියගියේ ය. එම වෛද්‍යවරයා ජමීල්ට හමුවූවාද නැද්ද යන්න විසඳාගත යුතුම ගැටලුවකි.

අසාද් මව්ලානා ලංකාවට රැගෙනවිත් පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ නව මානයකට ගෙනයා යුතුය. ඔහු කළ හෙළිකිරීම් අතර පිල්ලෙයාන් හා සහරාන් අතර තිබූ සබඳතා වව්නතිව් පොලිස් නිළධාරින් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසුව හිටපු කොටි සාමාජිකයෙකු කළ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිවිය. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානි චූලා කොඩිතුවක්කු විසින් කොටි සංවිධානයෙන් මරා දැමුවා යැයි පුන පුනා කියූ වව්නතිව් පොලිස් භටයින්ගේ ටී56 අවි දෙක නැවත හමුවූයේ සහරාන්ගේ පවුලම සියදිවි නසාගත් සයින්දමරුතු නිවස තුළ තිබියදී ය. එසේ නම් අසාද් මව්ලානාගේ ප්‍රකාශය බැහැර කරන්නේ කුමන පදනමක් යටතේද ?

නොමග යැවීම් තවදුරටත්

‘දේශප්‍රමී පිල්ලෙයාන්ගේ’ ඇසින් වැටුණු කඳුළු මාධ්‍ය පුරා තවරමින් කිඹුල් කඳුළු හෙලූ ගම්මන්පිල සිය මාධ්‍ය සාකච්ඡාවේ දී කියාසිටියේ “පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ. එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ.” කියා ය.

එහෙත් ගම්මන්පිලට අනුව ‘පාස්කුදින ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් නොදැන සිටි’ පිල්ලෙයාන් පාස්කුදින ප්‍රහාරය ගැන ම දෙමළ භාෂාවෙන් පොතකුත් ලියා ඇති බව ගම්මන්පිලට අමතක ය. දෙමළ බසින් ලිවීමෙන් පමණක් නොනැවතී එය සිංහල භාෂාවට ද පරිවර්තනය කර, රාජගිරියේ දී පිටපත් 1000ක් ද මුද්‍රණය කර, රුපියල් 1950කට මිල නියමකර ප්‍රකාශයට පත්කර තිබේ. පිල්ලෙයාන්ගේ පෙතේ සිංහල පරිවර්තනයේ නම වන්නේ “පාස්කු සංහාරය – ජාති හා ආගම් අතර සමගිය – වැටහීම හා අවබෝධය” යන්න යි. සිංහල මුද්‍රණය ප්‍රකාශයට පත්වී ඇත්තේ 2024 ජුනි මාසයේ ය.

ගම්මන්පිල කියාසිටියේ, “සීඅයිඩීය හාවෙක් අල්ලාගෙන, ඒ හාවා තමන් නරියකු බව පිළිගන්නා තුරු පහරදෙන න්‍යාය අනුගමනය කරන්නට යන” බව යි. එහෙත් පිල්ලෙයාන් නම් හාවාගේ තරම හෙළිවන්නේ, ඔහු ප්‍රකාශයට පත්කර ඇති පොතේ පාස්කුදින ප්‍රහාරය හා ඊට සූදානම් වූ අයුරු ආදිය ගැන ඇති ඇතැම් කරුණු පමණක් නොව ඡායාරූප පවා දකින විට ය. ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ පටන් ඒ ගැන විමර්ශන සිදුකළ තමන් සතුවවත් නොමැති තොරතුරු හා ඡායාරූප මේ පොතේ ඇති බව, පසුගිය වසර අග භාගයේ දී එහි පිටපතක් තමන් අත පත්වූ විට විමර්ශන නිලධාරීන්ට ම පෙනීගොස් ඇත.

තමන් ප්‍රහාරය ගැන එක වචනයක් කීවේ නැතැයි පිල්ලෙයාන් විසින් ගම්මන්පිල ගොනාට ඇන්දුවත්, සීඅයිඩීය මුලින්ම පිල්ලෙයාන්ගෙන් පාස්කු දින ප්‍රහාරය ගැන දීර්ඝ වශයෙන් කටඋත්තර ගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් 20 සහ 23 යන දිනවලදී ය.

එහිදී මෙම පොතේ අඩංගු කරුණුවලට අමතරව, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බව කියන හන්සීර් අසාද් මවුලානා විසින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්නකර ඇත. මීට අමතරව අසාද් මවුලානා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දිවුරුම් ප්‍රකාශ සාක්ෂියක් ද ලබාදී ඇත.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුණේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත ය. ඒ සඳහා පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබූ බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙවණපිටිය නම් ප්‍රාද්ශයේ තිබූ පිල්ලෙයාන්ලාගේ පැරාමිලිටරි කණ්ඩායමට අයත් කඳවුරේ දී මහාචාර්යවරයා පහරදී ඝාතනය කර පුළුස්සා දැමූ බවට ඇසින් දුටු සාක්ෂි දෙකක් තිබෙන බවත් දැනගන්නට ඇත.

අපරාධ ඉතිහාසයක් ඇති පුද්ගලයකු කිසියම් එක් නිශ්චිත අපරාධයකට අත්අඩංගුවට ගත් විට, ඔහු විසින් සිදුකර ඇති අනෙකුත් අපරාධවලට අදාළ තොරතුරු හා සාක්ෂි බඩවැලක් සේ ඇදීඒම නොවැළැක්විය හැකි බවත්, තමන් අත්අඩංගුවට ගත්තේ එක් අපරාධයක් සම්බන්ධයෙන් නම්, තමන්ගෙන් ප්‍රශ්නකළ හැක්කේ ඒ අපරාධය ගැන පමණකැයි සැකකරුවකුට හෝ ඔහුගේ නීතීඥයාට විමර්ශකයන්ට එරෙහිව කොන්දේසි පැනවිමේ හැකියාවක් නොමැති බවත් ගම්මන්පිල නොදන්නවා විය නොහැකි ය.

කෙසේ වෙතත්, තමන්ගේ සේවාදායකයා ගැන කිසිදු තොරතුරක් නොදැන පමණක් නොව ඒ හමුවේදී පවා මෙවැනි අති මූලික තොරතුරක්වත් අනාවරණය කරගන්නට අසමත්ව මාධ්‍ය හමුවේ අමූලික බොරු කියමින් විමර්ශන කඩාකප්පල් කරන්නටත්, විමර්ශන ආයතන පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කරන්නටත්, විමර්ශනවලට එරෙහි මහජන මතයක් ඇතිකිරීමටත් කූට ලෙස කටයුතු කර ඇති ගම්මන්පිල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බව අවිවාදිත ය.

දේශප්‍රේමිත්වයේ දෙබිඩිභාවය

මේ සියල්ලටමත් වැඩියෙන් ගම්මන්පිල විසින් සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ දෙබිඩිභාවය අනාවරණය කරමින් සිටීම දේශපාලනිකව අතිශය වැදගත් ය. මේ පිළිබඳ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන විදර්ශන කන්නන්ගර පවසා ඇත්තේ මෙවැන්නකි.

දේශප්‍රේමය’ සිංහල-බෞද්ධ වාර්ගික ජාති(ක)වාදය තුළ නිර්වචනය කිරීමේ උපරිම සාධාරණය උදය ගම්මන්පිල විසින් සිදු කර ඇත. නව සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදය යනු සිංහල නූතනත්ව සංස්කෘතික වටිනාකම් හෝ බෞද්ධ හර පද්ධතීන් මත පදනම්ව සිය අනන්‍යතාවය ළෙලවන දෘෂ්ටිවාදයක් නොවෙයි. එය මුළුමනින්ම විනාශ කළ යුතු පසමිතුරු අනෙකෙකු වෙතින් පමණක් සිය ෆැන්ටසිය නඩත්තු කරනා කුමන්ත්‍රණකාරී සමස්තයකි.

එවක රැඩිකල් දෙමළ සන්නද්ධ ව්‍යාපාරය විසින් භෞතිකව තෘප්ත කරනු ලැබුවේ එම සිංහල-බෞද්ධ වාර්ගික ජාති(ක)වාදයේ නිසර්ග ෆැන්ටසික ප්‍රමෝදය යි. එල්ටීටීඊ සංවිධානයේ අවසානය එම දෘෂ්ටිවාදයේ පළමු සුරතාන්තය විය. ඉන් පසුව බෙලසුන් වූ එම ජාති(ක)වාදී ව්‍යාපෘතිය නැවත මුස්ලිම් පසමිතුරු අනෙකෙකු ෆැන්ටසිගත කිරීමෙන් කෙළින් වීමට උත්සාහ දැරූ අතර පාස්කු ප්‍රහාරය හරහා ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීම එහි දෙවැනි සුරතාන්තය විය.

ආර්ථික අර්බුදය, මහජන අරගලය හා සියලු ජනවර්ගයන්ගේ සාතිශය බහුතරය හරහා ජාජබ බලයට පත්වීමෙන් පසු සිය ව්‍යාපෘතිය පවත්වා ගත හැකි පසමිතුරු ෆැන්ටසියක් ගොඩනැගීමට අවශ්‍ය භෞතික ආධාරකයක් සිංහල බෞද්ධ වාර්ගික ජාති(ක)වාදයට අද අහිමි වී ඇත. ගම්මන්පිල පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටීමෙන් සිහිපත් කරන්නේ සිය නව වාර්ගික ජාති(ක)වාදයේ ස්වර්ණමය අවධිය පිළිබදව පමණක් නොව එහි මූලික පැවැත්ම වන සතුරු මිතුරු භේදය ගොඩනැඟෙන තාක්ෂණය පිළිබඳවයි.

එම වාර්ගික ජාති(ක)වාදය සිය භෞතික පිහිටුම සලකුණු කෙරුණේ රැඩිකල් දෙමළ සන්නද්ධ ව්‍යාපාරය නම් සතුරා විනාශ කිරීම තුළින් පමණක් නම් ඊට අත්‍යවශ්‍ය වූ යුධමය උපායික හැරවුමේ කේන්ද්‍රීය චරිතයක් වූ පිල්ලෙයාන් ‘දේශප්‍රේමියකු’ වීම ඉහත ආඛායනයට අනුව කිසිදු වරදක් නැත.

රාජපක්ෂයට විරුද්ධ වීමෙන් සරත් ෆොන්සේකා නම් ‘දේශප්‍රේමී යුධ විරුවා’ ද්‍රෝහියකු විය. ආර්ථික අර්බුදයට දූෂිත වගඋත්තරකරුවකු වී මහින්ද රාජපක්ෂ නම් වූ අසහාය ‘දේශප්‍රේමී දේශපාලන නායකයා’ ජනතා ද්‍රෝහියකු විය. පිල්ලෙයාන් ද්‍රෝහියකු වූයේ රැඩිකල් හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතාවගේ දේශපාලනයට පමණී. අනෙක් අතින් පිල්ලෙයාන් යනු පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමේ චූදිතයකු ලෙස සිංහල බෞද්ධ වාර්ගික ජාති(ක)වාදයේ ඊළග දේශපාලන නැගිටීමට ශරීරය දුන්නෙකි. ඒ අනුව පිල්ලෙයාන් මෙම සිංහල බෞද්ධ වාර්ගික ජාති(ක)වාදයේ පැහැදිළි මිතුරෙකි. උන්ගේ දේශපාලනයේ භෞතිකය හා නිර්වචනය අනුව පිල්ලෙයාන් ‘දේශප්‍රේමියකු’ මිස අන් කවරෙක්ද ?

සසඳි සොරායා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT