‘මැණිකා වෑන්ඩපූටන් ගේ සමකාලීන ඡායාරූපකරණය පිළිබද කතාබහක් ‘ යන මැයෙන් කොළඹ, මහවැලිකේන්ද්‍රයේදී, SEQUEL ඡායාරූප එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී දැක්වූ අදහස් ඇසුරිණි.)
මැණිකා වැන්ඩර්පුටන්ගේ ඡායාරූප සැලකිය හැක්කේ නූතනත්වය පරිභ්‍රමණය (traversing modernity) කිරීමක් හැටියට යි. බැලූ බැල්මට කෙනෙකුට කිව හැක්කේ, ‘‘ මේ මොන කලාත්මක ඡායාරූපද, ‘ඔය ටික අපටත් කරන්න හැකිනෙ” කියලයි.
නූතනත්වය තුළ පැවති ප්‍රධාන ලක්ෂණයක් නම් ආත්මයේ අපහැදිලිතාවයි. බර්ග්මාන්ගේ සිනමාව, ඇල්වින් ලොන්ඩන්ගේ ඡායාරූප ශිල්පය ආදී කුමක් නිදසුන් කරගත්තත්, ඒ සියල්ලෙහි මූලික ෆෝකස් කිරීම තිබුණේ ආත්මය අර්ථකථනය කර ගැනීම දෙසට යි. ලාල් හෑගොඩගේ “සඳුන් අරටුව දැල්වූයේ ඔබයි” කියන කවිපොතේ පෙරවදනේ දැක්වෙන පරිදි එයා ඡායාරූප ශිල්පය කොටස් 3ට කඩනවා. එක වාර්තා ඡායාරූපකරණය යි. දෙක නිර්මාණාත්මක ඡායාරූපකරණය හා තුන කලාත්මක ඡායාරූපකරණය යි.
ඒ කියන්නෙ ඩොකියුමෙන්ට්‍රි කියන්නෙ ආර්ට් නෙවෙයි. නූතන යුගයේ කලාව පිළිබඳ අර්ථකථනය ඒකයි. ඩොකියුමෙන්ට්‍රි තියෙන්නේ තොරතුරු හෝ දත්ත සඳහා පමණ යි. එහෙත් 2වන ලෝක යුද්ධය ඉවරවෙද්දී, විශේෂයෙන් ඡායාරූප ශිල්පයේ වෙනසක් වුණා. එකල පළ වූ LIFE සඟරාව මේ කතිකාවේ තීරණාත්මක භූමිකාවක් ඉටු කළා. ඒ වෙද්දි ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගත්තේ සෞන්දර්යාත්මක එළඹුමක් ඔස්සෙ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පයට වගේම වාර්තා ඡායාරූප ශිල්පයට තැනක් එනවා. චිත්‍ර කලාවේ ලෑන්ඩ්ස්කේප් තිබුණා. ලෑන්ඩ්ස්කේප් ඇන්දේ ස්වභාවික පරිසරය සොයාගෙන ගිහින්.
පසුකාලීනව මෑන් ඕල්ටඩ් ලෑන්ඩ්ස්කේප් (Man-Altered Landscape) කියලා කැටගරි එකක් ඡායාරූප ශිල්පයට එකතුවෙනවා. සිනමාවෙදි අන්ද්‍රෙ තර්කොව්ස්කිගෙ වගේ චිත්‍රපටි ගත්තම වාර්තාමය ඡායාරූපයට යම් කිසි සමාජ මානව විද්‍යාත්මක මුහුණුවරක් දීමක් සිදුවුණා. අලුත් විෂයක් ලෙස දෘෂ්‍ය මානවවිද්‍යාව (Visual Anthropology) හැඩගැහෙන්න වුණා.
සමාජ විද්‍යාඥයෙක් දත්ත මත පදනම්ව කිසියම් වූ ක්‍රමවේදයක් මත පදනම්ව පර්යේෂණයක් කරන්නේ යම් සේක්, දෘෂ්‍ය කලා ශිල්පියෙක් ගිහින් යම් නිශ්චිත නියමිත ව්‍යාපෘතියක නොවන ඉබාගාතේ ඡායාරූප ගැනීමක් කරන්න පටන් ගන්නවා. හැබැයි ඔළුවෙ යම් සංරක්ෂිත දර්ශනයක්, දැක්මක් ඉතුරුවෙනවා. ඒක දත්ත මත පදනම් වූ තෝරාගැනීමක් නෙවෙයි. ඡායාරූප ශිල්පයේ දෘෂ්‍ය කලා ඉතිහාසය කියන්නෙම විකල්ප ඉතිහාසයක්. එක ප්‍රධාන ඉතිහාසයක් වෙනුවට ඉතිහාසයන් ගොඩක්. විශේෂයෙන් පරිධියට තල්ලු කරන ලද අයගේ ඉතිහාසයන් කියලා කියන්න පුළුවන් .
මැණිකගේ ඡායාරූපවලට කැමති වුණු තැන නම් නූතන කලාවේ තිබුණු ප්‍රධාන ලක්ෂණයක් අභිබවන තැනයි. නූතනත්වය පරිභ්‍රමණය කරන තැනයි. එය නම් පුද්ගලික අත්දැකීම පුද්ගලික අත්දැකීමක් විදිහටම කලා කෘතියට නොගන ආ යුතුයි, ඒක එහෙම ගෙනෙන්නේ නම් එය තවදුරටත් කලා කෘතියක් නෙවෙයි යන අදහස නොතකා එයාගෙ පුද්ගලික අත්දැකීම ඒ ආකාරයෙන්ම කලාවට ගෙන ඒම යි. කලා කෘතියක් යනු කුමක්ද යන්නට නූතන යුගයේ විශ්වීය සම්මත මැණිකා විසින් ඛණ්ඩනය කරනු ලැබීමයි.
මැණිකාගේ ‘මඩුවන්වල වලව්ව’ ඡායාරූපය ගත්තම එහි තියෙන්නේ නිෂ්ක්‍රීය දැක්මක්. ප්‍රේම් ඇදයි. සම්ම්ත අර්ථය නෑ. මේ වගේ නිර්මාණවලට ඩුවෙන් මයිකල්ස් කියන්නේ ‘ ස්නැප් ෂොට් ඉ්ස්තටික්’ කියලා. 60-70 දශකය වන විට ස්නැප් ෂොට් ඊස්තටික් කියන සංකල්පය කලාගාරවලාට ගෙන ඒමට නොහැකි ඇයි කියන ෆයිට් එක ආවා. ඒක පෙර අර්ථයෙන් සෞන්දර්ය විරෝධීයි. බෙචර්ස් ස්කූල්හි හිලර් බෙචස් සහ බර්න්ඩ් බෙචර් කියන්නේ ඡායාරූප ශිල්පයේ ලෝකය වෙනස් කළ තීරණාත්මක ගුරුවරුන් දෙදෙනා. ඔවුන්ගෙන් ප්‍රධානතම ශිෂ්‍යයකු වූ ජර්මන් ජාතික අන්ද්‍රෙ ගර්ස්කි (Andreas Gursky ) කියන්නෙ මෙතෙක් ලෝකයේ ඉහළම වටිනාකමක් සහිත ඡායාරූපය අලෙවි කළ පුද්ගලයා. ඔහුගෙන් මාධ්‍යවේදියෙක් අහන්නේ ඔබ බෙචර්ස් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත පළවෙනි වැදගත්ම දේ මොකක්ද කියලයි. එතකොට ඔහු කියන්නේ, DO avoid the blue sky කියලා. එ නම් “නිල් අහස ගන්න එපා” කියලයි. එනම් ඒ වන විට සෞන්දර්යය ලෙස ගොඩනංවා තිබූ අර්ථ පද්ධතිය සුනු විසුණු කරමින් එහෙම නොවූ දේ උත්කර්ෂයට නැංවීමයි. මැණිකාගේ ඡයාරූප බොහොමයක දකින්න ඇත්තේ එයයි.
පශ්චාත් නූතන කලාවේ ප්‍රේම් එක කඩන එක මූලික ලක්ෂණයක්. ඊට කලින් ප්‍රේම් එක ඇතුළත ආර්ට් වුණා මිස ප්‍රේම් එකෙන් පිටත ආර්ට් නෙවෙයි. රෙනෙ මාග්‍රට් එයාගෙ සුප්‍රසිද්ධ ‘මෙය පයිප්පයක් නොවේ’ චිත්‍රයේදී ටයිටල් එක ප්‍රේම් එක ඇතුළට ගේනවා. මැණිකා එයාගෙ පර්සනල් ඇල්බම් එක ගැලරියට ගේනවා. මට අනුව එය photo insolation එකක්. මේක දේශපාලනික අවකාශයක්. 20 වන සියවසේ මුල ඩඩාවාදී ප්‍රවණතාවෙන් ප්‍රමුඛතම තර්කය නම් කලාව යනුවෙන් අර්ථ ගන්වන්නේ අවකාශයට බවයි. ඒ නිසා තමයි මාර්ෂල් ඩුෂෑන් හිස් පෝච්චියක් අරන් ඇවිත් ගැලරියක තියන්නෙ. එහෙම තිබ්බම මේක ස්වයංව කලා කෘතියක් බවට පත්වෙනවා. අවකාශය විසින් තමා ඔබගේ දැක්ම ප්‍රතිනිර්මාණය කරන්නෙ. මැණිකාගෙ ඇල්බම් එක ගෙදර ගිහින් අපි බලන්නෙ නෑ. ඒක ගැලරියක තිබ්බම ආර්ට් වෙනවා. මැණිකගෙ නොවන දේවල් පවා මැණික හදන අවකාශයක තිබ්බම ඒක ආර්ට් වෙනවා. ඊට කලින් ඒක මොනව හරි දෙයක් නම් මැණිකා නිසා ඒක ආර්ට් වෙනවා. ඒ කියන්නෙ නූතන යුගයේ හැඟීමට සෞන්දර්යට තිබ්බ තැන දැන් නෑ. නෑම නෙවෙයි එ්ක අනිවාර්ය නෑ.
බූපති නලින් වික්‍රමගේ