Wednesday, April 23, 2025
Home » මට අවශ්‍ය ගිගුම්දෙන මරණයක් – ෆාතිමා හසූනා

මට අවශ්‍ය ගිගුම්දෙන මරණයක් – ෆාතිමා හසූනා

by sachintha
April 23, 2025 1:01 am 0 comment

ඇය ගාසාහි ජීවත්වූ තරුණ ඡායාරූප ශිල්පිණියක්. ඇයට වයස අවුරුදු විසි පහක්. පසුගිය සතියේ ඇයගේ නිවසට එල්ලවුනු ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ඇය ඝාතනය කරනු ලැබුවා. අයත් සමඟ ඇයගේ නිවසේ සිටි එකොළොස් දෙනෙකු ඝාතනයට ලක්වුණා. මරණයට පත්වූවන් අතරට ඇයගේ ගර්භනී සහෝදරියත් ඇතුළත් වුණා.

සුපුරුදු පරිදිම ඊශ්‍රායල් හමුදාව කියන්නේ මෙය හමාස් සංවිධානයේ සාමාජිකයකු ඉලක්ක කර ගෙන සිදුකරනු ලැබූ ගුවන් ප්‍රහාරයක් බවයි. ඒත් ඇය මිය යාමට පැය විසි හතරකට පෙර ඇය ගැන නිර්මාණය කෙරුණු වාර්තා චිත්‍රපටයක් ප්‍රංශයේ සිනමා උළෙලක පළමුවරට ප්‍රදර්ශනය වන බව ප්‍රකාශයට පත් වෙනවා. එය ඊශ්‍රායල් ආක්‍රමණයෙන් පසු හසූනාගේ ජීවිතය ගැන නිර්මාණය වූ චිත්‍රපටයක්. එම ප්‍රවෘත්තියට දිනකට පස්සේ තමයි ඊශ්‍රායල් ප්‍රහාරය එල්ලවන්නේ. ඒ ඇයගේ විවාහයට දින කිහිපයකට කලින්.

ගාසා කියන්නේ මාධ්‍යවේදීන්ට අතිශය භයානක කලාපයක්. මේ දක්වා මාධ්‍යවේදීන් 170ක් ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වී තිබෙනවා. ඇතැම් වාර්තා පෙන්වාදෙන්නේ එම සංඛ්‍යාව දෙසීයකටත් වැඩි බවයි. ෆාතිමා පිළිබඳව වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ ඉරාන ජාතික අධ්‍යක්ෂවරිය (සෙපීඩ් ෆාසී) හසූනාගේ ජීවිතය පිළිබඳ මෙසේ කියනවා.

“ඇය කෙතරම් ආලෝකයක්ද. ඇය හරිම දක්ෂයි. ඔබ චිත්‍රපටය බැලූ විට එය අවබෝධ කර ගනීවි. මේ චිත්‍රපටය කාන්ස්වල පෙන්වන බව ඇයට කියන්න සහ එයට ආරාධනා කිරීමට මම පැය කිහිපයකට කලින් ඇයට කතා කළා. ඇය ගාසාව ගැන මගේ ඇස් දෙකයි. මම ඇයගේ සිනහව, ඇයගේ කදුළු, ඇයගේ බලාපොරොත්තු සහ ඇයගේ මානසික ආතතිය රූගත කළා.”

හසූනා වසර කිහිපයක සිට ගාසාහි තොරතුරු පිටත ලෝකය වෙත ගෙනයමින් සිටියා. ඇය සිටියේ මරණය අතවනන සීමාවක යි. ඒ ගැන තමන් බියෙන් සිටියත් “ඇය බිය නැත්නම් ඇය ගැන බිය වීමට මට අයිතියක් නැහැ කියල මම මටම කියාගනිමින්, මම ඇයගේ ශක්තියට, නොසැලෙන අධිෂ්ඨානයට වාරු වෙලා හිටියා..” කියල සෙපීඩ් ෆාසී කියනවා. හසූනා යම් මොහොතක තමන් කරා මරණය එන බව දැනගෙන සිටියා. ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙහෙම ප්‍රකාශ කර තිබුණේ ඒක යි.

“මම මැරුණොත් මට අවශ්‍ය ගිගුම් දෙන මරණයක්. මට වඅවශ්‍ය වන්නේ මගේ මරණය මාධ්‍යවල උණුසුම් පුවතක් හෝ මැරුණු ප්‍රමාණයක අංකයක් බවට පත්වීමට නොවෙයි. මට අවශ්‍ය ලෝකයට ඇසෙන මරණයක් වීමටයි. කාලාන්තරයක් බලපාන මරණයක් බවට පත්වීමටයි. කාලයේ හෝ සිදුවුණු තැනෙන් වළලා දැමිය නොහැකි ප්‍රතිරූපයක් වීමටයි”

ගාසාහි මරණ සංඛ්‍යාව මේවන විට පනස්දාහ ඉක්මවා තිබෙනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ ළමයින්. ගාසාහි මරණ ක්‍රමයෙන් අංක බවට පත්වෙමින්, විරෝධය පෑමෙන් වැළැක්විය නොහැකි අනිවාර්යතාවයක් බවට පත්වෙමින් තිබෙනවා. ඊශ්‍රායලයේ අත්තනෝමතිකත්වයට බලපෑමක් කිරීමට නොහැකිවීම හමුවේ ලෝකය ගාසාහි ඛේදවාචකය ඉවසීමට ක්‍රමිකව හුරුවෙමින් සිටිනවා. ඉතින් එවන් මොහොතක යුද්ධය හමුවේ ජීවිත අනතුර නොතකා අධිෂ්ඨානශීලීව සිටගන්නා මිනිස්සු මිය යන විට අප හමුවේ ඉතිරිකර යන විශ්වාසය සහ බලාපොරොත්තුව කියන්නෙම අසීරු හෘද සාක්ෂියක්.

The Guardian ඇසුරිණි.

බුද්ධික බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT