අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 176කින් නතර කළ මුම්බායි පිල පන්දු 26ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුල්ලක් පමණක් දැවී තිබියදීය.
ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින චෙන්නායි පිලට අත්වූ 6 වැනි පරාජය මෙය වන අතර, සිවුවැනි ජය සමඟ මුම්බායි පිල 6 වැනි ස්ථානය දක්වා ඉහළට ගියේය.
රෝහිත් ශර්මා පන්දු 45කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 76ක් සහ සූර්යකුමාර් යාදව් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟ පන්දු 30කින් වේගවත් ලකුණු 68ක් රැස් කරමින් මුම්බායි ජය තහවුරු කළහ. ශර්මා තරගයේ වීරයා බවට පත්වූ අතර, පන්දු යැවීමේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ මතීෂ පතිරණ ලකුණු 34ක් ලබාදී තිබුණේ පන්දු 10ක් පමණක් යවමිනි.
පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල වෙනුවෙන් රවින්ද්‍ර ජඩේජා පන්දු 35කින් ලකුණු 53ක් සහ ශිවම් ඩූබේ පන්දු 32කින් ලකුණු 50ක් රැස් කළහ. පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක් දවා ගත්තේය.
බැංගලෝර් තෙවැනි තැනට
තරගාවලියේ 37 වැනි තරගයේදී පන්ජාබ් කිංග්ස් පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
මුලාන්පූර්හිදී පැවති මේ තරගයේදී බැංගලෝර් පිල කඩුලු 7ක ජයක් වාර්තා කළ අතර, පන්ජාබ් පිල මේ පරාජය සමඟ සිවුවැනි තැනට වැටිණි.
පන්ජාබ් පිල පළමුව පන්දුවට පහර දෙමින් දුන් ලකුණු 158ක ඉලක්කය ඕවර 18.5කදී සපුරා ගැනීමට බැංගලෝර් පිල සමත් වූ අතර, නොදැවී ලකුණු 73ක් රැස් කරමින් විරාට් කෝලි තරගයේ වීරයා බවට පත් විය. දෙව්දුත් පඩික්කාඩ් ලකුණු 61ක් ඉනිමට එක් කළේය.
ප්‍රභ්සිම්රාන් සිං ලකුණු 33ක් රැස් කරමින් පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී කෘනාල් පාණ්ඩ්‍යා සහ සුයෂ් ශර්මා කඩුලු 2 බැගින් දවා ගත්හ.